පළාත් පාලන මැතිවරණය : දූෂණය හා 'නායකයින්ගේ අනාගතය'

  • 2018 පෙබරවාරි 6

"පාර්ලිමේන්තු මැතිවරණෙදීත් බැරිවුණා. දැන් වෙන් වෙලා පරද්දන්නේ කොහොම ද?"

"නායකයෝ තුන්දෙනාගෙන්ම ජනතාව සිටින්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමගයි"

"ආණ්ඩු විරෝධී එක ම බලවේගය අපියි"

"මේක කඳවුරු දෙකක සටනක් "

බීබීසී සිංහල සේවය සමග සංවාදයේ නිරතවෙමින් එසේ සිය දැක්ම හෙළි කළේ, තීරණාත්මක මැතිවරණයක් ලෙස පෙනෙන 'පුංචි ඡන්දය ආසන්නයේ ජනතා කැමැත්ත උරගා බැලීමට පෙරට වන් මුල් පෙලේ දේශපාලන පක්ෂවල ප්‍රමුඛයින් සිව් දෙනෙකි.

පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ අවසන් අදියරේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මකවෙමින් තිබෙද්දී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉදිරිය තීරණය වන මැතිවරණයක් බවට මෙම 'ගමේ මැතිවරණය' පත්වනු ඇති බව ඇතැම් දේශපාලන විචාරකයින් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොනිල වශයෙන් නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණයට ඉදිරිපත්වන අතර අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ ද රට පුරා සිය අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් වලට ද සෙසු සුළු පක්ෂ ප්‍රදේශ ගණනාවකට වෙන වෙනම තරග කරති. ඇතැම් ප්‍රදේශවලට ප්‍රබල ස්වාධින කණ්ඩායම් ඉදිරිපත්ව තිබෙන්නේ නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ කුඩා පක්ෂවලට ඇති වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමේ අරමුණ ඇතිවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
කාන්තා නියෝජනය ඉහළ නැංවීම ද මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂිතය

"අපි මේ මැතිවරණය පහසුවෙන් ජයගන්නවා, නිදහස් පක්ෂය එකතුවෙලා පාර්ලිමේන්තු මැතිවරණයේ අපිව පරද්දන්න බැරිවුනා, දැන් වෙන් වෙලා පරදන්නේ කොහොමද ?" එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ බලාපොරොත්තුව ගැන බීබීසී සිංහල සේවයට එසේ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් ලෙස ප්‍රධාන කණ්ඩායම් දෙකක් මැතිවරණයට ඉදිරිපත්වීම, බැලූ බැල්මට එම පක්ෂයේ ඡන්ද බෙදී යාමට හේතුවක් බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ එකම ආණ්ඩු විරෝධී බලවේගය ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ තම පක්ෂය බවය.

"ප්‍රාදේශීය සභාවලින් අපි අනිවාර්යෙන් 200ට වැඩි ගාණක් දිනනවා, වැඩි ප්‍රමාණයක් දිනන්නෙත් අපි" බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පැවසුවේ 2015 ජනාධිපතිවරණය පරාජයවූ විට ද වැඩිම ආසන සංඛ්‍යාවක් රට තුළ දිනාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව මතක් කරමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ජන්ද ප්‍රමාණයක් ලබාගත්ත ද ඒ ජන්ද බහුතරය කැඩී යන්නේ 2015 ජනාධිපතිවරණයේ දී ඔහුට ලබාදුන් ලක්ෂ 62ක ජන්ද ප්‍රමාණයෙන් බව ද හිටපු ඇමතිවරයාගේ මතය වී තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ අද ජනතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඒකරාශී වෙමින් සිටින බවය.

"අද නායකයෝ තුන්දෙනාගෙන්ම ජනතාව ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක, මේ රටේ දුෂණයෙන් රට බේරගන්න පුළුවන් එකම නායකයා ඔහුයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිවරණය පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ මැතිවරණයට ඉදිරිපත්වන දුෂණ චෝදනා නැති එකම පාර්ශ්වය තම පක්ෂය බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට ද දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා නොවේදැයි විමසු විට ඔහු පැවසුවේ "ඒ පරණ කතා අල්ලාගෙන කියන දේවල්" යනුවෙනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට මේ රජය සමයේ කිසිදු චෝදනාවක් නැති බවය ඔහු අවධාරණය කළේය.

දූෂණය, මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමත්වී තිබෙන ආකාරයක් දක්නට ලැබේ. දිගින් දිගටම ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දැඩි වාග් ප්‍රහාර එල්ලවෙමින් පවතී. රට තුළ "දූෂිතයන්ගේ ප්‍රභූ සන්ධානයක්" තිබෙන බව ඔහු දිගින් දිගටම චෝදනා කරයි.

"මම දැක්කා එතුමා පහුගිය දවසක කියනවා දූෂිතයන් පොළොව පලාගෙන අවීචි මහා නරකාදියට යයි කියලා, මම බලං හිටියේ ඒක කියන කොට එතුමාගේ වේදිකාවේ හිටිය පිරිස්, හරිනම් ඒ වෙලාවේ වේදිකාව පලාගෙන යන්න ඕන" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දූෂණයට එරෙහි අදහස් සම්බධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සේවයට අදහස් පළකළේ එලෙසිනි.

"මෙතන තියෙන්නේ කඳවුරු දෙකයි, එකක් විනාශකාරි මෙතෙක් රට පාලනය කළ කඳවුරයි, අනිත් එක ජනතාවට වැඩ කරන්න නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තියෙන කඳවුරයි" රනිල්, මහින්ද හා මෛත්‍රීගේ ප්‍රතිපත්තිවල වෙනසක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසයි.

මෙම මතවාදය පසුගිය මහමැතිවරණයේ ද ගෙනහැර දැක්වූ ජනතා විමුක්ති පෙරමුණට ලබුනෙ ආසන 6ක් පමණක් බව පෙන්වා දුන්විට ඔහු පැවසුවේ, එදා තමන් පැවසූ දේ නිවැරදි බව අද පාර්ලිමේන්තුවේ සංයුතියෙන් පෙනෙන බවය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අඩක් පමණ ආණ්ඩුවේ සිටින බව පෙන්වා දෙමිනි.

"අපි 2020 ආණ්ඩු පෙරලිය හැකි ජනතා ව්‍යාපාරයක් සඳහා උත්තේජනයක්, ප්‍රතිපලයක් ලබාගන්නා මැතිවරණ ප්‍රතිපලයක් අපේක්ෂා කරනවා, පළාත් පාලන ආයතන කිහිපයක පාලනය හරහා ජනතා විමුක්ති පෙරමුණේ පාලනය කවරේදැයි තවදුරටත් ඒත්තු ගැන්වීමට පළාත් පාලන ආයතන කිහිපයක ජයග්‍රහණය අපි බලාපොරොත්තු වෙනවා" අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මැතිවරණ බලාපොරොත්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග එසේ පැවසීය.

මැතිවරණ සමයේ එළිදැක්වුණු බැඳුම්කර කොමිසම් වාර්තාව හා බරපතල වංචා දුෂණ වාර්තාව මැතිවරණ ප්‍රතිපලයට යම් බලපෑමක් කළ හැකි බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. බැඳුම්කර වාර්තාව උපයෝගී කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට මේවනවිට දැඩි චෝදනා එල්ලවෙමින් පවතී.

"ඒ සම්බන්ධයෙන් චෝදනා යොමුවුනාම අපි පියවර ගත්තා, අගමැතිට කිසිම චෝදනාවක් නැහැ, අපේ ඇමතිවරයෙක්ට එල්ලවුණු චෝදනවලදිත් අපි ක්‍රියාත්මක වුනා" එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ කාරියවසම් අමාත්‍යවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවුණු චෝදනා ගැන අදහස් දැක්වුයේ එලෙසය.


මේ තොරතුරු දැනගන්න


බරපතල වංචා වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකට දූෂණ චෝදනා එල්ලවී ඇති අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඒ ගැන පැවසුවේ "ඒක බරපතල කිව්වට තියෙන්නේ පොඩි දේවල්" යනුවෙනි.

දූෂණය රටේ ප්‍රධානතම ප්‍රශ්නය බවට මතුකරන තර්කය තමන් පිළිනොගන්නා බව හිටපු ඇමතිවරයා අවධාරණය කළේය.

"ඒක ප්‍රශ්නයක් හැටියට මේ කට්ටිය යොදාගන්නවා, ඔය කියන චෝදනා මම දේශපාලකයෙක් හැටියට පිළිගන්නේ නැහැ, අතීතයෙත් නායකයන්ට ඔහොම නිකං චෝදනා කළා"

දූෂණය වැළැක්වීමට පොදුජන පෙරමුණේ වැඩපිළිවෙල කුමක්දැයි විමසු විට ඔහු පැවසුවේ "මේ රටේ ආර්ථික ක්‍රමය නිසා ඇතිවෙච්ච එකක්, මේක සම්පුර්ණම වෙනස් කරලා, මිනිසුන්ට ගැලපෙන, ආර්ථික ක්‍රමයක් මේ රටට හඳුන්වල දෙන්න ඕන".

මෙවර හඳුන්වාදී තිබෙනනව මැතිවරණ ක්‍රමය අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි. මේ තත්ත්වය හේතුවෙන් එවන් වූ මන්ත්‍රීවරුන් පිරිසක් නඩත්තු කිරීමට විශාල අමතර මහජන මුදලක් දැරීමට සිදුවේ.

ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රමාණය අඩුවිය යුතුය යන මතයේ සිටී. සීමානිර්ණ ගැටලුවක් හේතුවෙන් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩිවූ බව පවසන එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය අකිල විරාජ කාරියවසම් එය අඩුකිරීමට කටයුතු කළේ නම් මැතිවරණය තවත් කල් යන බව කියා සිටියේය. ඊළඟ පළාත් පාලන මැතිවරණය පවත්වන විට එය අඩුකිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

කෙසේ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක්, සුළු ජාතික/සුළු පක්ෂ නියෝජනය හා කාන්තා ප්‍රතිශතය තහවුරු කිරීම යන තුනම මේ ක්‍රමයේ අඩංගු නිසා මෙලෙස මන්ත්‍රීවරුන් වැඩි වන බවය.

මේ සියලු නව තැත්ත්ව යටතේ පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයට දැන් සියල්ල සුදානම් වෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ ප්‍රධාන පක්ෂ තුනේ නායකයන්ගේ පුද්ගලික දේශපාලන අනාගතයට මෙම මැතිවරණ ප්‍රතිපලය දැඩි බලපෑමක් කරනු ඇති බවකි.

"මේක මහින්ද රාජපක්ෂ මහත්තයට වෝටර්ලු සටන වගෙයි, මේ සටනේ ඔහු බිඳ වැටුනොත් ඔහුගේ දේශපාලන භුමිකාවේ අවසානය සටහන් වෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයටත් තීරණාත්මකයි, ඔහුගේ ආණ්ඩුවේ අවුරදු තුනක කාලපරිච්ඡේදය ගැන මැන බැලීමක් සිදුවෙනවා, මෛත්‍රී ජනාධිපතිවරයා ගැන බැලුවොත් ඔහුට ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථාවේ කවර බලයක් තිබුනත් මේ මැතිවරණ ප්‍රතිපලය අනුව තමයි ඔහුට මේ බලතල ක්‍රියාත්මක කළ හැකි වන්නේ"

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර