එල්ටීටීඊ ඡායාරූප: සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

Image copyright Getty Images
Image caption යුරෝපයේ එල්ටීටීඊ ආධාරකරුවෝ (සංරක්ෂිත ඡායාරූපයකි)

ෆේස්බුක් සමාජ ජාලය තුළ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහ එල්ටීටීඊ සංවිධානයේ නිල ලාංඡනය පළ කර බෙදා හැරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් තරුණයන් දෙදෙනාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව ත්‍රස්ත මර්ධන කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුණි.

අත්අඩංගුවට පත් දෙමළ ජාතික සැකකරුවන් දෙදෙනා රත්නපුරයේ පදිංචිකරුවන්ය.

අදාළ නඩුව බදාදා (පෙබරවාරි 07) කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්ධන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ ඉහත කී කාරණය සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතූ බවය.

ඒ අනුව ජාතීන් අතර සුහදතාව උල්ලංඝනය කිරීමට ක්‍රියා කිරීම යන චෝදනා මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බව ත්‍රස්ත මර්ධන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.

තම සේවාදායකයන් දැනටමත් මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔවුන්ට ඇප නියම කරන මෙන් විත්තියේ නීතිඥවරු එහිදී ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට විරෝධය පළ කළ පොලීසිය කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බැවින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට හැකියාවක් නොමැති බවය.

සැකකරුවන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ චෝදනා ගොනු කරන හෙයින් ඔවුන්ට ඇප ලබාදීමට තම අධිකරණයට බලයක් නොමැති බව විවෘත අධිකරණයේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඒ අනුව සැකකරුවන් පෙබරවාරි 21 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියම කළේය.

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සහ එම සංවිධානයේ නිල ලාංඡනය ඇතුළත් කර ෆේස්බුක් සමාජ ජලයේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩයක් පළ කිරීම සහ එය බෙදා හැරීමේ චෝදනා මත විදූෂන් විජයකුමාර් සහ දිනේෂ් කුමාර් යන තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ත්‍රස්ත මර්ධන කාර්යාංශය විසිනි.