ඡන්ද පැවැත්වීමකදී නීතිරීති අනුව ක්‍රියාකරන්න - මැතිවරණ කොමිසම

ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු ජන්ද ප්‍රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධීයි Image copyright EPA
Image caption ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු ජන්ද ප්‍රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධීයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිහඬ කාලසීමාව වන පෙබරවාරි 8 (අද) දින සිට පෙබරවාරි 10 වෙනිදා ඡන්ද විමසීම අවසන්වන තෙක් සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කරුණු පළනොකරන ලෙස, මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

ඡන්ද විමසීම්වලට අදාළව දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති සහ පොරොන්දු පිළිබඳව, ඡන්දදායකයාට මධ්‍යස්ථව සලකා බැලීමට හැකිවන පරිදි, සෑම මැතිවරණයකට පෙර පැය 48කට නිහඬ කාලසීමාවක් නියම කර තිබේ.

2018 පළාත් පාළන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (පෙබ.7) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වූ අතර, එතැන් සිට ඡන්ද ප්‍රකාශය අවසන් වනතෙක් කිසිදු ඡන්ද ප්‍රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධී වේ.

මෙම කාලසීමාව තුළදී, මැතිවරණයට අදාළ සාකච්ඡා, වාද විවාද, ප්‍රචාරක දැන්වීම් ආදිය ප්‍රදර්ශනය කිරීමෙන් හෝ පළ කිරීමෙන් මාධ්‍ය ආයතන වැළකී සිටියයුතු අතර, ඊයේ දින පැවැත්වූ අවසන් රැළිවල තොරතුරු පමණක් අද (8) දිනයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ විකාශය කිරීමට විද්‍යුත් මාධ්‍යයන්ට අවසර ලබාදී තිබේ. ඒ හැර, සියලු ආකාරයේ දේශපාලන කාරණා පළකිරීමෙන් මාධ්‍ය වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

Image copyright Getty Images
Image caption ඡන්ද නීති රකින්න

සමාජ ජාල පරිහරණය කරන පුරවැසියන් ද, මෙම නිහඬ කාල සිමාවේ සමාජ මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කාරණා පළකිරීමෙන් වලකින ලෙස, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

සමාජ ජාල මාධ්‍ය තුළ තවමත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පළවෙමින් තිබෙන අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්ද ඒ අතර සිටීම විශේෂත්වයකි.

මෙම නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යම් පුද්ගලයෙක් නියැලී සිටියහොත්, එම පුද්ගලයන් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. අත්පත්‍රිකා, ‍පෝස්ටර් ආදිය බෙදාහැරීම සහ ප්‍රදර්ශනය කිරීම ද තහනම් බව පොලීසිය පවසයි.

පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65753ක් අද දින සිට රාජකාරි ආරම්භ කරන අතර ඡන්ද මධ්‍යස්ථාන 13420 කට එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 26840ක් අනුයුක්ත කර තිබේ.

මේ අතර අද විශේෂ නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමිසම, ඡන්ද විමසීම් රාජකාරී සඳහා නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.

ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන සියලුම නිලධාරීන්, සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව පවසන මැතිවරණ කොමිසම, ඡන්ද විමසීම් රාජකාරී සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන සතු වාහන නියමිත පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරී වෙත වාර්තා කරන බවට වගබලා ගැනීමට අදාළ ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන වගකීම පැහැර හැරිය නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

මෙම විධාන උල්ලංඝනය කිරීම, රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වීමට හේතුවන වරදක් බව මැතිවරණ කොමිසමේ නිවේදනයේ සඳහන්වේ.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර