පළාත් පාලන මැතිවරණය : ඡන්දය විමසීමේ සුදානම

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පළාත් පාලන ආයතන 340 කට සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ඇති සූදානම.

පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම සෙනසුරාදා (10) පැවැත්වීමට සියල්ල සූදානම් වෙමින් පවතී.ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර පුද්ගලයන් 15,760,867 සුදුසුකම් ලබා ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත තාවකාලිකව අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියලු දෙනාට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

පළාත් පාලන ඡන්ද විමසීමට දිස්ත්‍රික්ක මට්ටමින් ඇති සූදානම පිළිබදව වාර්තාවකි මේ,

*******

ගාල්ල දිස්ත්‍රික්කය

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්‌ටි හා ලිපි ද්‍රව්‍ය ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යෑම අද දින පෙරවරු 9.00 ට පමණ පොලිස්‌ ආරක්‍ෂාව මැද සිදුවිය.

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පිහිටුව මධ්‍යස්ථානයෙන් ඡන්ද පෙට්‌ටි නිකුත් කෙරිණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමට ගිය තිදෙනෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය හැර දිස්ත්‍රික්කයේ අන් ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 715 සහ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 257 ක් පිහිටුවා ඇත. ඡන්ද රාජකාරි සඳහා රාජ්‍යය නිලධාරීන් 8,700 සහ වාහන 700 පමණ යොදවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.මැතිවරණ කටයුතු සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000 පමණ යොදවා තිබේ.

Image copyright Getty Images

හම්බන්තොට දිස්ත්‍රික්කය

පළාත් පාලන මැතිවරණය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේද සියලු කටයුතු සුදානම් කර තිබෙන බව හම්බන්තොට තේරීම් බාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 සදහා අපේක්ෂකයින් 268 තෝරා ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් අපේක්ෂකයින් 1477 දෙනෙක් තරග වදිති..

එමෙන්ම දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචි ඡන්ද දායකයින් හාරලක්ෂ හැත්තෑ නව දාස් හාරසිය අනූඅට (479,498) දෙනෙකු සිටින අතර, මේ වන විට 15,446 දෙනෙකු තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි කරුණාරත්න මහතා තවදුරටත් පැවසුවේය.

තවත් තොරතුරු:

"ඡන්දය දාන්නම ඕනෙද?"

මැතිවරණය හා සමාජ මාධ්‍ය:"ඡන්ද නීති රකින්න "

පළාත් පාලන ඡන්දය උණුසුම්; ඡන්දය දෙන්නේ කොහොමද?

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ ප්‍රමාදයක්

පළාත් පාලන මැතිවරණය සදහා මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් දසලක්ෂ අනූහත්දහස් හාරසිය තිස් දෙකක් (10,97,432) මධ්‍යස්ථාන 925කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව මහනුවර තේරීම් භාර නිලධාරී එච්.එම්.සී. හිටිසේකර පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 104 අතුරින් අපේක්ෂකයන් 4307 ක් ඉදිරිපත් වී ඇති අතර කොට්ඨාස ක්‍රමයට 377 දෙනෙකු ද සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් 243 ක්ද තෝරා පත් කර ගනු ලැබේ.

නමුත් පැය 3 ට අධික කාලයක් ප්‍රමාදව ලැබුණු ඡන්ද පෙට්ටි එම මධ්‍යස්ථානයේ සිට බස් රථ ගාල් කර තිබුණු ස්ථානයට කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන යාමට නිසි ක්‍රමයක් නොමැති වීමෙන් විකල්ප ක්‍රම ඔස්සේ එම පෙට්ටි රැගෙන යාමට නිලධාරීන්ට සිදුවිය.

මේ පිළිබඳව හිටිසේකර මහතා පවසා සිටියේ අවශ්‍ය වාහන රජයේ දෙපාර්තමේන්තු සහ පෞද්ගලික අංශ වලින් ලබා ගැනීමට කටයුතු කළ නමුත් එම වාහන නොපැමිණි නිසා මෙම තත්වය උදා වූ බවය. එනමුත් දහවල් 12 වන විට මෙම ගැටලුව විසදා සියලුම ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලට යැවූ බව ඔහු තවදුරත් පැවසුවේය.

මේ තොරතුරුද දැනගන්න:

පළාත් පාලන මන්ත්‍රීවරු 4486 සිට 8356 දක්වා ඉහළට

පළාත් පාලන ඡන්දයේ වියදම බිලියන 3 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තුළ "ස්ත‍්‍රී විරෝධයක්"

මාතලේ දිස්ත්‍රික්කයේ තත්ත්වය

මෙවර මාතලේ දිස්ත්‍රික්කය මහ නගර සභා දෙකක් සහ ප‍්‍රාදේශීය සභා එකොළහක් සහ පළාත් පාලන ආයතන දහතුනකින් සමන්විතය. මෙම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්හත් දහස් අසූ හයක් වන අතර ඡන්ද මධ්‍යස්ථාන 337 ක් පිහිටුවා ඇති බව මාතලේ තේරීම් භාර නිලධාරි ඩී.පී.ජේ.ඒ. කුමාරසිරි මහතා පැවසුවේය.

මාතලේ දිස්ත්‍රික්කය සදහා අපේක්ෂකයින් 168 ක් තෝරා ගැනීමට නියමිත අතර මෙවර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 13ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 1557 දෙනෙක් තරග වදිති.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 162 පිහිටුවා ඇති අතර රාජකාරියේ යොදවා ඇති නිලධාරීන් ගණන 4500කි. ඡන්දය පැවැත්වෙන අතරතුර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් 2040 ක් සේවයේ යොදවා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කය

පළාත් පාලන ප්‍රදේශ 19 ක ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන 680 හෙට දින ඡන්ද විමසීම පැවැත්වෙන බව අනුරාධපුර තේරීම් භාර නිලධාරි නීතීඥ ආර්. එම් වන්නිනායක ප්‍රකාශ කළේය.

හෙට උදෑසන 7 සිට සවස 4 වන තෙක් ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර පස්වරු 4.30 වන විට ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මනාප ක්‍රමය නොමැති වීමෙන් පසුගිය මැතිවරණවලට සාපේක්ෂව කඩිනමින් ඡන්ද ගණන් කිරීමේ ක‍ටයුතු අවසන් කළ හැකි බවත් කොට්ඨාස මට්ටමේ ප්‍රතිපල ඡන්දය අවසන් වී පැය දෙකකට ආසන්න කාලයක් ඇතුළත නිකුත් කළ හැකි බව තේරීම් භාර නිලධාරී වන්නිනායක පැවසුවේය.