පළාත් පාලන මැතිවරණය: "වෙඩි තියන්න පුළුවන්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජන්ද පෙට්ටි කොල්ලකෑම වැනි බරපතල සිදුවීමකදී වෙඩිතැබීමේ බලය පොලිසියට තිබෙන බව පොලිසිය පවසයි.
යම් යම් වැරදිවලදී උපරිම බලය යෙදවීමක් ලෙස වෙඩි තැබිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සෙනසුරාදා (පෙබරවාරි 10) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව ගැන සිකුරාදා කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
"උපරිම බලය ලෙස වෙඩි තැබීමේ හැකියාව තිබෙනවා. හැම වරදකටම නෙවෙයි, යම් යම් වැරදි වලට, උදාහරණයක් හැටියට ජන්ද පෙට්ටි කොල්ලකෑමදී" යනුවෙන් ඔහු සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 400 ක වපසරියක් තුළ පුද්ගලයන් එක්රැස්වී සිටීම තහනම් බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යම් නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.
ඡන්ද මධ්‍යස්ථානයකට බීමත්ව පැමිණියොත් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇති බවත් ඔහු පැවසුවේය.
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීම තහනම් බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව සඳහන් කළේය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,753 දෙනෙකු යොදවනු ලැබ ඇත.
ඡන්ද මධ්‍යස්ථාන 13,420 ක් ක්‍රියාත්මක වන අතර එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් පොලිස් නිලධාරීන් 26, 840ක් යොදවනු ලැබ තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් ගිනි අවි සහිතව රාජකාරියේ යෙදෙන බව පොලිසිය පවසයි.
ඊට අමතරව විශේෂ කාර්ය බලකාය හා කැරලි මර්ධන ඒකකය ද මැතිවරණයේ විවිධ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබේ.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ යම් මැතිවරණ කොට්ඨාසයක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එහි ඡන්දය අවලංගු කිරීමට කටයුතු කරනු ඇති බවය.
සබැඳි යොමු: