පළාත් පාලන මැතිවරණය 'සාමකාමීයි': ඡන්ද විමසීම අවසන්

මැතිවරණය Image copyright Getty Images

සෙනසුරාදා (පෙබරවාරි 10) උදෑසන හතට ආරම්භ වූ පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම සවස හතරට අවසන් විය.

දහවල් දෙක වනවිට රට පුරාම 60% කට වැඩි ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වී තිබුණු බව තේරීම් භාර නිලධාරීහු පවසති.

සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට, මැතිවරණය පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථාන 13,374 කටයුතු සාමකාමීව සිදු වූ බව ද වාර්තා වේ.

ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර පුද්ගලයන් 15,760,867 සුදුසුකම් ලබා සිටියහ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත තාවකාලිකව අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියලු දෙනාටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ.

මැතිවරණය මේ වනතුරු සාමකාමීව පැවැත්වෙන බව පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කරති.

Image caption ආබාධිත පුද්ගලයන්ට සිය ජන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව දක්නට ලැබිණ

පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ උදෑසන 7ත් 10ත් අතර බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 2ක් පමණක් රට පුරා වාර්තා වී ඇති බවය.

ඒ චංචල දේපළ හානි කිරීමේ සිදුවීමක් හා බිය වැද්දීමේ සිද්ධියකි. මේ අතර තවත් සුළු සිදුවීම් 23ක් වාර්තාවී ඇති බව ද පැෆරල් සංවිධානය පැවසීය.

මේ අතර සිකුරාදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඇතුළු තිදෙනෙකු සෙනසුරාදා පෙරවරුවේ අත්අඩංගුවට ගත් මාදම්පේ පොලිසිය ඔවුන් හලාවත මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළේය.

ඔවුන් මේ මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී හලාවත මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

මේ අතර හලාවත එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර අබේසේකර තමාට බැන තර්ජනය කර හලාවත ආනන්ද ජාතික පාසැල ඉදිරිපිට ජන්ද මධ්‍යස්ථානය අසලින් ඉවත් කළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාවක් වන රෝහිනී සමරසේකර පොලිසියට පැමිණිලි කර තිබේ.

Image caption සුළු සිදුවීම් හැරුණු විට මැතිවරණය 'සාමකාමීයි'

මේ අතර මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින්, ජන්ද නියෝජිතයන් පත්කිරීමේ බලය ඇති පක්ෂ ලේකම්වරුන්ගේ නම් නිසි ලෙස සංදේශනය නොවීම ගැන පැමිණිලි කිහිපයක් ලැබුණු බව සඳහන් කර තිබිණ.

එම පැමිණිලි සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කළ බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නිල නොවන ජන්ද ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස ද මැතිවරණ කොමිසම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

තවත් කියවන්න:

පුත්තලම

ඇතැම් සුළු සිදුවීම් හටගත්ත ද පස්වරු දෙක පමණ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සියයට හැටකට ආසන්න පිරිසක් සිය ජන්දය ප්‍රකාශ කර තිබිණ.

කෙසේ වුවත් ආබාධිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දක්නට ලැබිණ.

Image caption ආබාධිත පුද්ගලයන්ට සිය ජන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව දක්නට ලැබිණ

මැතිවරණයකදී ආබාධිතයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව ආබාධිතයන් සහ ඔවුන් කැටුව පැමිණි අය බීබීසී යට පැවසූහ.

වසර තිහකට අසන්න කාලයක් පුත්තලමේ පැවති අවතැන් ජන්ද මධ්‍යස්ථාන මෙවර නොමැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්එච්එම් චිත්‍රානන්ද පැවසීය.

දූපත්වාසීන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මොහොත්තුවරම ග්‍රාමයේ ජන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබීම ද විශේෂත්වයකි.

ගාල්ල

සෙනසුරාදා දහවල් දහවල් 12.30 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර පැවසීය.

දිස්ත්‍රික්කය පුරාම ඉතා සාමකාමීව ඡන්ද විමසීම පැවති අතර, විශේෂයෙන්ම නෙළුව, තවලම, නියාගම සහ නාගොඩ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා පැවසීය.

එම ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 55%ක් පමණ වුවත් නාගරික ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය තරමක් මන්දගාමී බව ද දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ 80% ක පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව පවසන ඔහු, සවස 6.30 පමණ වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පැවසීය.

සබැඳි යොමු: