"ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය," නීති උල්ලංඝන සහ අතුරුදහන්වූවෝ

සෙනසුරාදා (පෙබරවාරි 10) සවස හතරට අවසන් වූයේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණවලින් එකක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ප්‍රධානී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඒ බව සඳහන් කළේ ඡන්ද විමසීම අවසානයේ ප්‍රකාශයක් කරමිනි.

එමගින් අදහස් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු නොවූයේය යන්න නොවන බවත්, රට පුරා විවිධ ස්ථානවල හටගත් සුලු සිදුවීම් ගණනාවක් පිළිබඳව වාර්තා වී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අතරින් 8 දෙනෙකු මැතිවරණ අපේක්ෂකයන්ය.

පැෆරල් (PAFFREL) සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබෙන වාර්තාවකට අනුව, ඡන්ද විමසීම අවසාන වනවිට රට පුරාම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 180 කට අදාළව උල්ලංඝන 211 ක් වාර්තා වී තිබිණ.

එම සංවිධානය පවසන පරිදි ඒ අතරින් 22 ක් බරපතල ගණයේ සිදුවීම්ය. ඒ අතරින් 10ක්ම බරපතල ගණයේ පහරදීමේ සිදුවීම්ය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දස දෙනෙකු රෝහල්ගත කරනු ලැබ තිබේ.

හම්බන්තොට දිස්ත්‍රිකය තුළ සාමකාමිව මැතිවරණය කටයුතු සිදු වූ අතරවාරයේ, අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකුට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පහර දී තිබේ.

පහර කෑමට ලක්වූ දෙදෙනා අඟුණකොලපැලැස්ස රෝහලේ ප්‍රතිකාර ලබති.

සිකුරාදා (පෙබරවාරි 09) රාත්‍රී අඟුණකොලපැලැස්ස, හැලෙකඩ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකාවකගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර ඇයට පහරදී ඇති බවට ද පොලිසියට පැමිණිලි කර තිබිණ.

අම්බලන්තොට බැරගම ප්‍රදේශයේදී සෙනසුරාදා පෙරවරුවේ භාණ්ඩ මිලදී ගැනීම සදහා නිවෙස්වලට මුදල් වවුචර් පත් බෙදමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

Image caption හම්බන්තොට: 'සාමකාමී මැතිවරණයේ' එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක්

කෙසේ වුවත් සමස්තයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය තුල සාමකාමී වාතාවරණයක් පැවති බව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් පැවසීය.

මේ අතර සිකුරාදා හටගත් ගැටුමක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විසින් මාදම්පේ නෙළුම් පොකුණ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය ද දක්නට ලැබිණ.

ගැටුම පිළිබඳව අපේක්ෂකයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුන අතර, අපේක්ෂකයාත් තවත් අයෙකුත් ඡන්දය ප්‍රකාශ කර තිබූ නමුත් එක් පුද්ගලයෙකු ඡන්දය ප්‍රකාශ කර නොතිබිණ.

අදාල සැකකරුගේ ඉල්ලීම පරිදි ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විශේෂ ආරක්ෂාවක් මැද සැකකරු ඡන්ද පොළ වෙත රැගෙන ගොස් ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන්නේය.

තවත් කියවන්න:

රට පුරාම ඡන්දය භාවිත කිරීම සැලකීමේදී 65% කට වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

සෙනසුරාදා රාත්‍රී අටට පමණ පළමු නිල ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරන මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ මධ්‍යම රාත්‍රිය වනවිට ප්‍රතිඵලවලින් 75% ක් පමණ ප්‍රකාශයට පත්කිරීමට කිරීමට හැකි වනු ඇති බවය.

හම්බන්තොට දිස්ත්‍රිකයේ 70 % ක් පමණ ඡන්දදායකයන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිවුඑච් කරුණාරත්න පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ සමස්ත ප්‍රතිශතය 77%ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එස්ටි කොඩිකාර සඳහන් කරයි. දිස්ත්‍රික්කය පුරා සාමකාමි වාතාවරණයක් පැවති අතර සුලු සිදුවීම් කිහිපයක් හැරුනු විට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශයන් හි ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 71% - 84% අතර පරාසයක පැවතුණු අතර නෙළුව පළාත් පාලන අයතන බල ප්‍රදේශයේ 84%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වි ඇත.

බොහෝ ප්‍රදේශවල එවැනි වාතාවරණයක් පැවතිය ද, මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැලකී සිටි බව උපවාසයක නිරතව සිටින වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් ජනමාධ්‍ය වෙත පවසා තිබුණි.

අතුරුදන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට 352 ක් පිරුණ ද මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබුන බව අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සොයාබලන සංගමයේ සභාපතිනි කේ ජයවදිනි සඳහන් කළාය.

සබැඳි යොමු: