රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක්

අගමැති සහ ජනපති Image copyright Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

අගමැති පදවියට කරු?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

Image copyright Getty Images
Image caption අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතී

එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

තවත් කියවන්න:

අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතී.

පක්ෂයේ නායකත්වය භාරගන්නා මෙන් හෝ අගමැති පදවිය භාරගන්නා මෙන් යෝජනාවක් ඉදිරිපත් වූයේ දැයි බීබීසී සිංහල සේවය මීට පැය කිහිපයකට ඉහත දී කළ විමසීමකට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය කියා සිටියේ, තමන්ට එවැනි කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවය.

කතානායකවරයා ලෙසින් තමන් පක්ෂ දේශපාලනයෙන් ඈත්ව සිටින බැවින් ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් විමසන මෙන් ද කතානායකවරයා ඉල්ලීමක් කළේය.

මේ අතර ඉරිදා (පෙබරවාරි 11) බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, තමන් අගමැති පදවිය භාර නොගන්නා අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර