'පුරා විද්‍යා වැඩ බිමක්' බවට පත් වූ රෝහල් වැඩ බිම

Image caption ත්‍රිකුණාමලයෙන් යටත්විජිත යුගයට අයත් කාලතුවක්කුවක් හමුවේ

යටත් විජිත සමයට අයත් යයි විශ්වාස කෙරෙන කාලතුවක්කුවක් ත්‍රිකුණාමලය මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකෙරෙන වැඩ බිමක තිබී හමු වී ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලතුවක්කුව හමු වී තිබෙන්නේ ත්‍රිකුණාමලය මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා ස්කැවේටර් යන්ත්‍රයකින් පොළොව කැණීම් කරමින් සිටි පිරිසකටය.

ඔවුන් මේ බව ත්‍රීකුණාමලය වරාය පොලිසියට දැන්වීමෙන් අනතුරුව වරාය පොලිසිය එය පරික්ෂා කර බලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

Image caption රෝහල් වැඩබිම පුරාවිද්‍යා වැඩබිමක් බවට පත්වේ

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් පැමිණ අදාළ කාලතුවක්කුව පරික්ෂා කර බලා මූලික වාර්තාවක් මේ වන විටත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බවත්, කාලතුවක්කුව හමු වූ ස්ථානයේ පර්චස් දෙකක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර කලාප අංක එක භාර නිළධාරි ජානක විමලසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය.

අඩි 10ක් පමණ දිගැති පිටුපස ගෝලාකාර හැඩයකින් යුක්ත මෙම කාලතුවක්කු මුව විවරෙහි විශ්කම්භය අඟල් 13 පමණවන බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර