රහස් පොලිසිය මගහරින අර්ජුන් මහේන්ද්‍රන්ට තැපෑලෙන් සිතාසි

අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්
ඡායාරූප ශීර්ෂ වැකිය,

අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්

මාර්තු මස අට වෙනි දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසියට කට උත්තරයක් දෙන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත සීඝ්‍රගාමී තැපෑලෙන් සහ 'කූරියර්' සේවාව මගින් සිතාසි යැවීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට අවසර දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙබරවාරි 15 දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන්ට මින් පෙරත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි.

අදාළ නඩුව අද (පෙබරවාරි 16) කැඳවූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ රහස් පොලිසිය අර්ජුන් මහෙන්ද්‍රන් මේ දක්වා තමන් හමුවට ඉදිරිපත් නොවූ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වමින් 'කූරියර්' සේවය සහ සීඝ්‍රගාමී තැපැල් මාර්ගයෙන් නොතිසි යැවීම සඳහා නියෝග කරන මෙන් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොටුව මහේස්ත්‍රාත්වරිය, මාර්තු මාසයේ අට වෙනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත සීඝ්‍රගාමී තැපැල් සහ 'කූරියර්' සේවාව මාර්ගයෙන් සිතාසි යැවීමට අවසර ලබා දුන්නාය.

ඡායාරූප මූලාශ්‍රය, President office.lk

ඡායාරූප ශීර්ෂ වැකිය,

වෙළුම් කීපයකින් යුක්ත බැඳුම්කර වාර්තාව

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින 'පර්පෙචුවල් ට්‍රෙෂරීස්' සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන සැකකරුවන්ට ඇපදීම කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

සිය සේවාදායකයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින මෙන් විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, මහබැංකු බැඳුම්කර සිද්ධියට පාදක වී ඇති මුදල් පොදු දේපළ ගණයට ඇතුළත් වන බව සඳහන් කළාය.

ඒ අනුව සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් මාර්තු දෙවැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියම කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන රක්ෂිත බන්ධනාගාරයට

සබැඳි පුවත් ;