අගමැති පදවිය ගැන කරුගේ ප්‍රතිචාරය: "මේ නායකයන් දෙදෙනා දිගටම"

Image copyright Getty Images

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් වී පක්ෂයේ වෙනත් නායකයෙකුට අගමැති පදවිය භාර දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන වෙනත් ඕනෑම නායකයෙකු අගමැති පදවියට පත්කිරීමට ජනපතිවරයා කැමැත්ත පළ කොට ඇතත්, ජනපතිවරයා වැඩි මනාපයක් දක්වන්නේ කතානායක කරු ජයසූරිය නව අගමැතිවරයා වශයෙන් පත්කිරීමට බව ද බීබීසී සිංහල සේවයට වාර්තා වේ.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කතානායක කරු ජයසූරිය කියා සිටියේ, පක්ෂය මෙතෙක් තමන්ට එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැති බවය.

එවැනි සූදානමක් පවතින්නේ නම් ඒ යෝජනාව ඉදිරිපත් විය යුත්තේ සිය පක්ෂයෙන් බව කියා සිටි කතානායකවරයා, "මේ නායකයන් දෙදෙනා ඉදිරියටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුය," යන්න ඒ සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරය බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් කියවන්න:

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු කියා සිටියේ, කතානායකවරයා අගමැති පදවියට පත්කළ නොහැකි නම් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා යටතේ හෝ ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂය තවමත් උත්සාහ දරමින් සිටින බවය.

Image copyright Getty Images

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකට සම්බන්ධ නොවී සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටමත් සඳහන් කොට තිබේ.

එවැනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය දෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා, නව ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රථම වත්මන් ආණ්ඩුව සහ අගමැතිවරයා තනතුරෙන් ඉවත්කළ යුතු බව පෙන්වා දුන්නේය.

එහෙත් "ඒක කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාටවත් බලයක් නෑ," යනුවෙන් ද ජනාධිපති නීතිඥවරයෙකු ද වන සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ අතර පදවියෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි.

මේ තත්වය යටතේ, විශේෂයෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ජනාධිපතිවරයාට අගමැතිවරයා පදවියෙන් පහ කළ හැකිද යන්න සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ එකිනෙකට පරස්පර අදහස් පළවෙමින් පවතී.

සබැඳි පුවත්: