ආණ්ඩුව දිගටම, අවශ්‍ය නම් ජනපති 'ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසාවි'

  • 2018 පෙබරවාරි 19
ජනපති සහ අගමැති Image copyright Getty Images

තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් තීරණය කළ බව අමාත්‍ය එස්බී දිසානායක පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සඳුදා (පෙබරවාරි 19) දහවල් පැවති රැස්වීමේදී එම තීරණයට එළැඹුණු බව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

කිසියම් ලෙසකින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපතිවරයා එම රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ඉරිදා (පෙබරවාරි 18) රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා මුලින්ම ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය.

ඉන් අනතුරුව සඳුදා පැවති රැස්වීමේදීත් ජනාධිපතිවරයා එම ස්ථාවරය මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

තවත් කියවන්න:

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව ප්‍රබල සංශෝධනයකට ලක් කළ යුතු බවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල දැඩි ස්ථාවරයක් දරමින් සිටියි.

Image copyright Getty Images

එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවදුරටත් වත්මන් ආණ්ඩුව සමග ක්‍රියාකළ නොහැකි බව පවසමින් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ද පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.

නියෝජ්‍ය කතානායකවරයා පවසන පරිදි ඉරිදා රාත්‍රියේ ජනපති හමු වූ ශ්‍රීලනිප මැති, ඇමතිවරුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ ද තමන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍ය බවය.

මේ තත්වය යටතේ කිසියම් ලෙසකින් සන්ධාන මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් මතුවන් වාතාවරණය පිළිබඳව ව්‍යවස්ථානුකූල තත්වය පැහැදිලි නැති බැවින් එවැනි අවස්ථාවක ගත හැකි නීත්‍යානුකූල පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට සූදානම් බවට මේ අතර මාධ්‍ය වාර්තා පළ වී තිබිණ. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කල් දැමීමේ කිසිදු සූදානමක් නැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

සබැඳි වාර්තා: