කාන්තා නියෝජනයේ ගැටලු: “ඇතැම් යෝජනාවලට විරෝධය පළවෙලා”

25% ක කාන්තා නියෝජනය? Image copyright Getty Images
Image caption 25% ක කාන්තා නියෝජනය?

සෑම පළාත් පාලන ආයතනයකම කාන්තා නියෝජනය 25%ක් තහවුරුකිරීමේ නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලු රැසක් ඇති බවට පක්ෂ නායකයන් පිළිගත්තේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ දින පාර්ලිමේන්තු සංකිර්ණයේදී මැතිවරණ කොමිසම හා පක්ෂ නායකයන් අතර පැවති රැස්වීමේදී, ඇතැම් පළාත් පාලන ආයතන ස්ථාපනය කිරිමේ දී කාන්තා නියෝජනය නොසලකා කටයුතු කිරිමට පක්ෂ නායකයින් තීන්දු කළ බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන්, එම පක්ෂ නායක රැස්වීමට සහභාගිවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, 25% ක කාන්තා නියෝජනය ඇතැම් සභාවල නිසිලෙස පිහිටුවීම ප්‍රයෝගිකව කළ නොහැකි බව මැතිවරණ කොමිසම රැස්වීමේදී දැනුම් දුන් බවය.

Image caption කාන්තා නියෝජනය ක්‍රියාත්මක කිරීම අපහසුයි

ඒ අනුව එම සභාවලට හැකි තරම් කාන්තාවන් පත්කරන ලෙස පක්ෂ නායකයන් දැනුම් දුන් බව පැවසූ ඔහු, අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කළ මේ ක්‍රමයට ඉදිරියේදී සංශෝධන එක්කළ යුතු බව කියා සිටියේය.

ඊයේ බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ කිසියම් ලෙසකින් යම් පක්ෂයකට හිමි වී තිබෙන සභික සංඛ්‍යාව හේතුවෙන් සමානුපාතික ක්‍රමය යටතේ කාන්තාවන් පත්කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම්, එවිට ආයතනයේ සභිකයන් අතරින් 25%ක් කාන්තාවන් නම් කිරීම අනෙක් පක්ෂවලට පැවරෙන බවය.

මෙයට එම පක්ෂ විරෝධය පළකර ඇති අතර, ඊට සාධාරණ හේතු ඇති බවට ඊයේ පක්ෂ නායක රැස්වීමේදී අදහස් පළවූ බව ද වාර්තා වේ.

උදාහරණයක් ලෙස ආසන 20 ක් ඇති සභාවක කොට්ඨාස සියල්ල ජයගනිමින් පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර මන්ත්‍රීධුර 10ක් ලබාගෙන එක් කාන්තාවක් පමණක් තෝරාගෙන ඇති විට, එම සභාවට අවශ්‍ය ඉතිරි කාන්තාවන් 4 දෙනා පත්කිරීම සමානුපාතික නියෝජනයක් ලැබෙන සෙසු පක්ෂවල වගකීම බවට පත්වේ. එම සභාවේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 6 ක් ද ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රී ආසන 2 බැගින් ද දිනා ඇත්නම් එම කාන්තාවන් 4 දෙනා පත්කිරීමේ සම්පුර්ණ වගකීම එක්සත් ජාතික පක්ෂය මතට පැවරෙනු ඇත.

පනත අනුව කිසියම් පක්ෂයක් ලබාගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 3 ට අඩුනම් එම පක්ෂයට කාන්තාවන් පත්කිරීම අනිවාර්ය නොවීම හේතුවෙන්, දී ඇති උදාහරණය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණට කාන්තාවන් පත්කිරීම අනිවාර්ය නොවේ.

මෙවැනි ගැටලු 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමේ ප්‍රයෝගික ගැටලු ලෙස හඳුනාගෙන තිබේ.

Image caption කාන්තා නියෝජනය ස්ථාපනය කළ නොහැකි පළාත් පාලන ආයතන තිබේ

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව කාන්තා නියෝජනය ස්ථාපනය කළ නොහැකි පළාත් පාලන ආයතන ද තිබේ.

"කරෙයිනගර් සභාවේ එක කාන්තාවක්වත් පත්වෙන්නේ නැහැ මට මතක හැටියට. කාර්තිව් කියන සභාවේ කාන්තාවන් දෙදෙනෙක් පත්වෙන්න ඕනේ ඒත් පත්කරන්න පුළුවන් එක්කෙනයි මොකද අනික් පක්ෂවලට ඒක අනිවාර්ය කරන්න බැහැ පනතේ තියන විධිවිධාන අනුව."

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහනගර සභාවට තේරීපත්ව සිටින රෝසි සේනානායක මේ පිළිබඳව ලිපියක් ලියමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ 25% ක කාන්තා නියෝජනය නිතිය අනුව තහවුරු කරන ලෙසය. මෙම නීතියට අනුව කටයුතු කිරීම "දුෂ්කරයි" "අසාධාරණ" යැයි නොසැලකිය යුතු බව ඇය දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නීය.

මෙවර මැතිවරණ ක්‍රමයෙන් මන්ත්‍රීවරු ප්‍රමාණය ඉහළ දැමුවේද 25% කාන්තා නියෝජනය තහවුරුකිරීමට බව ද ඇය පෙන්වා දෙන්නීය.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර