සුරාබදු ආඥාපනත යටතේ නඩු පැවරීමට 'පොලීසියට බලයක් නෑ'

  • 2018 පෙබරවාරි 20

සුරාබදු ආඥාපනත යටතේ නඩු පැවරීමට පොලිසියට නෛතික බලයක් නොමැති බවට දකුණු පළාත්බද මහාධිකරණය තීන්දු කළේය.

ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම තීන්දුව ප්‍රකාශයට පත්කළේ, බීර බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එරෙහිව විත්තිකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කළ අවස්ථාවේය.

කොග්ගල පදිංචි අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරයා සහ අහංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණ.

2017 මාර්තු 28 වන දින අහංගම නගරයේ සිට වැල්හේන්ගොඩට ප්‍රදේශයට ත්‍රීරෝද රථයකින් බීර බෝතල් හතළිස් අටක් ප්‍රවාහනය කරමින් සිටියදී විත්තිකරු අත්අඩංගුවට ගත් අහංගම පොලිසිය, සුරාබදු ආඥාපනතේ 46 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

Image copyright Getty Images
Image caption ත්‍රීරෝද රථයකින් බීර බෝතල් හතළිස් අටක් ප්‍රවාහනය කිරීම

විත්තිකරුට එම චෝදනා පත්‍රය භාරදීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා සුරාබදු ආඥා පනතේ 52 වගන්තිය යටතේ නඩු පැවරිමට පොලිසියට බලයක් නොමැති බවට කරුණු දැක්වීය.

එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සුරාබදු නඩු පැවරිමට පොලිසියට බලයක් තිබෙන බවට 2017 අප්‍රියල් 27 වන දින තීන්දු කළේය.

මෙම නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දෙන ලද තීරණය නිෂ්ප්‍රභා කරන ලෙසත්, සුරාබදු ආඥා පනතේ 46 වගන්ති යටතේ නඩු පැවරීමට පොලිසියට බලයක් නොමැති බවට තීරණය කරන ලෙසත් ඉල්ලා විත්තිකරු විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කර තිබිණ.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර