බස් රථයක අත් බෝම්බයක් පිපිරුවේ කෙසේද?

විනාශ වූ බස් රථය

බණ්ඩාරවෙල දියතලාව හෙබරව පෞද්ගලික මගී බස් රථයක බදාදා (පෙබරවාරි 21) උදෑසන අත්බෝම්බයක් පිපිරී යාමට එහි සිටි මගියෙකු වගකිවයුතු යයි විශ්වාස කරන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පවසයි.

මගියෙකුගේ බෑයේ තිබී මෙම අත්බෝම්බය පිපිරී යන්නට ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

පෙරවරු 5.45 ට සිදුවූ පිපිරිම හේතුවෙන් මගීන් 16ක් බරපතල තුවාල ලැබූ අතර බස් රථය සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශයට පත්විය.

යුද හමුදා සෙබලුන් 7 දෙනෙක් සහ ගුවන් හමුදා භටයන් 5 දෙනෙක් ද තුවාල ලැබූ මගීන් අතර සිටිති.

බස් රථයේ රියදුරා ද පවසන්නේ පිපිරීමට මගියෙකු වගකිවයුතු බවය.

තමන් සෑම දිනකම රාත්‍රියේ බස් රථය පිරිසුදු කොට අගුලු දමන අතර, ඉන් අනතුරුව රාත්‍රියේ එයට ආරක්ෂාව සපයා තිබෙන බව ද රියදුරා පවසයි.

අත්බෝම්බය පිපිරී ඇත්තේ බසයේ ඉදිරි අසුනක් යටය. උදෑසන බණ්ඩාරවෙලින් ගමන් අරඹා දියතලාවට ගොස් නැවත බණ්ඩාරවෙල ඔස්සේ ගමන් කරන බැවින් මෙම බස්රියෙහි දියතලාව යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබලුන් ඇතුලු පිරිස් ද ගමන් කරති.

බස් රථයේ ගමන්කළ හමුදා සාමාජිකයකු අත තිබූ අත් බෝම්බයක් පුපුරා යන්නට ඇතැයි සැක කරන කරන බව පොලිසියේ ප්‍රකාශකයෙක් ද සඳහන් කළේය.

තුවාලකරුවන් 16 දෙනා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

දියතලාව පොලීසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

සබැඳි විෂයයන්