සමා කාලයෙන් පසු අනවසර ශ්‍රමිකයන් නෙරපා හැරීමේ සැලැස්මක්

Image copyright SLBFE
Image caption ශ්‍රී ලාංකිකයන් 15,000ක් පමණ නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටිති

අනවසරයෙන් රැඳී සිටින විදේශික ශ්‍රමිකයන්ට පිටව යාම සඳහා කුවේටය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය අප්‍රියෙල් 22 තෙක් දීර්ඝ කර ඇතත්, එම කාලය තුළ පිටව නොගොස් එරට රැඳී සිටින්නන් අත්අඩංගුවට ගෙන පිටමං කරන තත්වයක් ඇති හෙයින් නීතියට අනුව කටයුතු කරන මෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් එරට සිටින අනවසර ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරයි.

නීති විරෝධීව සිය රටේ රැඳී සිටින්නන් සඳහා එරටින් පිටවීමට ලබාදී තිබූ පොදු සමා කාලය අපේ‍්‍රල් මස 22 දින දක්වා යළි දීර්ඝ කිරීමට කුවේට් බලධාරීන් විසින් තීන්දු කරනු ලැබ ඇත.

කලින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ආකාරයට 2018 ජනවාරි මස 29 දින ආරම්භ වූ එම පොදු සමා කාලය පෙබරවාරි 22 දින දක්වා අවසන් විය යුතුව තිබුණි.

එහෙත් ඊයේ (පෙබරවාරි 22) අවසන් වූ එම සමා කාල සීමාව යළිත් දීර්ඝ කරනු ලැබ ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

"මේ පොදු සමා කාලය බොහෝ කාලයකට පසුවයි ලැබී තිබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම එම කාලයෙන් ප්‍රයෝජන ගත යුතුයි.මොකද? මේ පොදු සමා කාලයෙන් පස්සේ දැඩි පියවරක් ගන්න මේ රාජ්‍යය බලාපොරොත්තු වෙනවා" ශ්‍රී ලංකා තානාපතිවරයා බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

"නියමිත සමා කාලය ගෙවී ගියාට පස්සේ ගෙවල් ගානේ ගිහින් සෝදිසි කරමින් අනවසරයෙන් රැඳී සිටින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන් රටින් නෙරපා හැරීමට කුවේට් බලධාරීන් බලාපොරොත්තු වෙනවා. කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපතිවරුන් කැඳවල ඒ බව දැනුම් දුන්නා"තානාපතිවරයා පවසයි.

Image copyright Getty Images
Image caption ශ්‍රී ලාංකිකයන් 97,500 ක් පමණ නීත්‍යානුකූල බලපත් සහිතව කුවේටයේ ජීවත් වෙති.

"අනවසරයෙන් රැඳී සිටින තැනැත්තෙක් එසේ නෙරපා හරිනු ලැබුණොත් කුවේටයට පමණක් නොව වෙනත් රටවලටත් පිවිසිය නොහැකි මට්ටමින් ඔවුන් අසාදු ලේඛනගත කෙරෙනු ඇතැයිද" ශ්‍රී තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් පෙන්වා දෙයි.

"එබැවින් කුවේටයට නැවත පැමිණීමට අවශ්‍ය පුද්ගලයන් වේනම්, ඔවුන් මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් ආපසු ගොස් නැවත නීත්‍යානුකූලව පැමිණීමට අවධානය යොමු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

පොදු සමා කාලය යළි දීර්ඝ කරනු ලැබීම සම්බන්ධයෙන් සඳහන් කළ ශ්‍රී තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් ,එම දීර්ඝ කිරීම සිදු කෙරුණේ කුවේටයට ශ්‍රමිකයන් යවන රටවල තානාපතිවරුන් පිරිසක් එකමුතුව කරන ලද ඉල්ලීමක් අනුව බවත් සඳහන් කළේය.

"කුවේට් රටට ශ්‍රමිකයන් එවන රටවල තානාපතිවරුන් විසින් කරන ලද ඉල්ලීම අනුවයි - පොදු සමා කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කෙරුනේ. ශ්‍රී ලංකාව ,ඉන්දියාව,ඉන්දුනීසියාව, භූතාන්,නේපාලය ,පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල් හතේ තානාපතිවරුන් එකට එකතු වෙලා එම ඉල්ලීම කළා. තිබුණ සති තුනක කාලය ප්‍රමාණවත් නොවන බව අපි පෙන්වා දුන්නා" ශ්‍රී ලංකා තානාපතිවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

Image copyright Getty Images
Image caption විදේශ රැකියා සඳහා පිටත්ව් යන කණ්ඩායමක්

ප්‍රකාශිත පොදු සමා කාලය යටතේ, නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශිකයන්ට නියමිත කාලය තුළ අදාළ දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් තොරව එරටින් පිටවීමට අවස්ථාව ලැබෙන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

" 15,500 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් වීසා නැතිව කුවේටයේ ජීවත් වෙනවා.ඔවුන් ආපසු යනවානම් තානාපති කාර්යාලයට පැමිණ තාවකාලික ගමන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒ අනුව අට දහසකට ආසන්න පිරිසක් තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගැනීමට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටිනවා. අපි දැනටමත් 6300 කට පමණ තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කර අවසානයි" ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් වැඩි දුරටත් සඳහන් කළේය.

ඔවුන්ගෙන් හාරදහසක් පමණ දැනටමත් ශ්‍රී ලංකාවට ගොස් ඇතිබව දැන ගන්නට ලැබෙන බවත් තානාපතිවරයා පවසයි.

මේවනවිට ශ්‍රීලාංකිකයන් 97,500 ක් පමණ නීත්‍යානුකූල බලපත් සහිතව කුවේටයේ ජීවත් වෙන බව පවසන තානාපතිවරයා, ඊට අමතරව වීසා බලපත් නැති 15,000ක් පමණ තවත් ශ්‍රී ලාංකිකයන් එරට ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බවත් සඳහන් කළේය.

Image copyright SLBFE
Image caption ආපසු සියරට කරා

පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් රටින් බැහැර වෙන පුද්ගලයන්ට නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යට පැමිණීමට අවසර ලැබෙන බවත් කුවේට් බලධාරීන් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහු පවසයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර