ත්‍රිකුණාමල රෝහල් බිමෙන් කාලතුවක්කු මතුවන්නේ ඇයි?

දෙවෙනි කාලතුවක්කුව

ත්‍රිකුණාමලය මහා රෝහල් බිමෙන් අද (පෙබ. 23) තවත් පැරණි කාලතුවක්කුවක් මතු විය.

රෝහල් පරිශ්‍රය තුළ හදිසි ප්‍රතිකාර අංශයේ වාට්ටු ඉදිකිරීම සඳහා කැණීම් කෙරෙද්දී පසුගිය 15 වෙනිදා ද කාලතුවක්කුවක් මතුවිය.

ඒ අනුව සති දෙකක් ඇතුළතදී එම භූමියෙන් කාලතුවක්කු දෙකක් හමුවූ අතර ඒවා රැදී තිබුණේ එක් තීරුවක පිහිටි එකිනෙකට ආසන්න ස්ථාන දෙකකය.

අද හමුවූ කාලතුවක්කුව දිගින් අඩි 11ක් වන අතර ටොන් අටක බරින් යුතු බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස පැවසීය.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු එම කාලතුවක්කුව ත්‍රිකුණාමලය සමුද්‍රීය නාවික කෞතුකාගාරයේ තැන්පත් කෙරෙනු ඇත.

රෝහල් බිමට කාලතුවක්කු ආවේ කෙසේද?

මෙම කාලතුවක්කු ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වලට අයත් යැයි සැළකෙන අතර චීනච්චට්ටිවලින් නිපදවා ඇති බව පුරාවිද්‍යා බලධාරීහු පවසති.

දැනට ත්‍රිකුණාමලය මහා රෝහල පිහිටා ඇත්තේ යටත් විජිත සමයේදී ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන් ද හමුදා රෝහලක් ලෙස භාවිත කළ බිම් කඩෙහිය.

ඒ අනුව අදාළ රෝහල වටා රඳවා තබන්නට ඇතැයි සැළකෙන කාලතුවක්කු මෙසේ මතුවන බව පුරාවිද්‍යා බලධාරීන්ගේ අදහස වී තිබේ.

මීට වසර 20 ට පමණ ඉහතදී ද ත්‍රිකුණාමල රෝහල් භූමියෙන් කාලතුවක්කුවක් මතු වී ඇති බව ඔවුහු කියා සිටියහ.

පසුගිය 15 වෙනිදා කාලතුවක්කුව හමුවූ අවස්ථාවේදී ඒ පිළිබඳ මූලික වාර්තාවක් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ අතර කාලතුවක්කුව හමු වූ ස්ථානයේ පර්චස් දෙකක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවපුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර කලාප අංක එක භාර නිළධාරි ජානක විමලසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය.

අඩි 10ක් පමණ දිගැති එම කාලතුවක්කුවේ පිටුපස ගෝලාකාර හැඩයකින් යුක්තවූ අතර මුව විවර අඟල් 13 පමණ විශ්කම්භයකින් යුතු විය.