"මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව" රෝසි ගේ ඉදිරි වැඩපිළිවෙල

  • 2018 පෙබරවාරි 23
රෝසි සේනානායක

කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම පිණිස පියවර ගන්නා බව කොළඹ නව නගරාධිපතිනිය ලෙස තේරී පත් වී සිටින රෝසි සේනානායක පවසයි.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුදයක් මතු නොවූ බවත් බීබීසී සිංහල සේවය සමග විශේෂ එක්වෙමින් ඇය සඳහන් කළාය.

"කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වෙන ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් තමයි මත් කුඩු, මත්ද්‍රව්‍ය කියන එක," රෝසි සේනානායක හිටපු අමාත්‍යවරිය කියා සිටියාය.

"පොලිසියත් එක්ක, නීතිය හා සාමය අමාත්‍යාංශය එක්ක එකතුවෙලා අනිවාර්යයෙන් වැටලීම් කරනවා. ඒ වගේම මුළු කොළඹ දිස්ත්‍රික්කයටම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නෑ."

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇතිකොට මත් උවදුරට ගොදුරු වී සිටින දරුවන් එයින් බේරාගැනීම සිය අභිප්‍රාය බව ද ඇය සඳහන් කළාය.

Image copyright Getty Images

මැතිවරණයෙන් පසුව මතු වූ දේශපාලන අර්බුදය පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ඇය කියා සිටියේ, "එක්සත් ජාතික පක්ෂයේ කිසි ප්‍රශ්නයක් නෑ. අර්බුදයක් ඇතිකරන්න සමහර අය බැලුව ඒගොල්ලන්ගේ පරාජය වහන්න," යනුවෙනි.

ඒ කවුදැයි විමසූ විට රෝසි සේනානායකගේ ප්‍රතිචාරය වූයේ, "ඔය අර්බුදය ඇතිකරන්න හදපු කට්ටිය, සමහර මාධ්‍ය," යන්නය.

කොළඹ මහ නගර සභාවේ ඉදිරි වැඩකටයුතු සිදුකරන ආකාරය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, "රැස්වීම් ශාලාව අළුත් වැඩියා කිරීම් සිදුවෙනවා. ඒක ඉවරවෙනකම් මාස කිහිපයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හෝ වෙනත් තැනක රැස්වීම පවත්වන්න වේවි," යනුවෙන් ද ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම 55ක් ව පැවති කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමයත් සමග 119 දක්වා ඉහළ ගොස් තිබේ.

E Governance

කොළඹ මහ නගර සභාවෙන් ජනතාවට ලබා දෙන සේවා සඳහා නව තාක්ෂණය භාවිත කිරීම සහ කොළඹ නගරය සුහුරු නගරයක් (Smart City) බවට පත්කිරීම සිය බලාපොරොත්තුව බවත් ඇය සඳහන් කළාය.

"වරිපනම් ගෙවන්නද, බලපත්‍රයක් ගන්නද ඒ සියල්ල අන්තර්ජාලයෙන් කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් එනවා. සැලැස්මක් අනුමත කරගැනීම එකම තැනකින් කිරීම වගේ දේවල් මේකේ අඩංගු වෙනවා."

පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල ආරම්භ වීමත් සමග කොළඹ නගරයේ කුණු බැහැර කිරීමේ ගැටළුවට විසඳුමක් ලැබෙන බව පවසන කොළඹට පත්වීමට නියමිත නව පුරපතිනිය කුණු එකතු කිරීම ද ජනතාවට පහසුවෙන් කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස්කරන බවටත් ප්‍රතිඥා දුන්නාය.

කොළඹ මහ නගර සභාවේ කටයුතු සාර්ථක කිරීමට නම් ජනතාව ද ඔවුන්ගේ වගකීම ඉටුකළ යුතු බව පෙන්වාදෙන රෝසි සේනානායක විශේෂයෙන්ම කුණු වෙන්කිරීම, බැහැර කිරීම නිසි ලෙස සිදුකිරීම ඔවුන්ගේ වගකීම බවත් පවසන්නීය.

"ඩෙංගු වලට නගර සභාවට බැනලා වැඩක් නැහැ. තමාගේ ගෙවත්තේ මදුරුවෝ බෝවෙන තැන් තියෙනවනම්."

කොළඹ නගරයේ පොදු පහසුකම් දියුණු කිරීම ගැන ද අවධානය යොමුකරමින් පොදු වැසිකිලි පහසුකම්, ජනතාවට විවේකිව සිටීමට ස්ථාන මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථාන ඇතිකිරීමට ද ඇය බලාපොරොත්තු වේ.

"සති අන්තයේ සවස් කාලයේ දරුවොත් එක්ක ඇවිල්ලා හවසට විනෝද වෙන්න පුළුවන් විදි කිහිපයක් ඇති කරනවා."

වසර ගණනාවක් කිසිදු අළුත්වැඩියාවක් සිදුකර නැති කොළඹ ජලනල පද්ධතිය හා කානු පද්ධතිය අළුත්වැඩියා කිරීමට ද බලාපොරොත්තුවන බව පැවසූ ඇය එමගින් පුංචි වැස්සකටත් කොළඹ නගරය යටවීමේ ගැටලුවට පිළියම් ලැබෙන ඇතැයි කියා සිටියාය.

වාර්ෂිකව කොළඹ මහනගර සභාවට රුපියල් බිලියන 15ක් ආදායමක් ඇති බව පෙන්වාදුන් රෝසි සේනානායක වැඩිදුරටත් කියා සිටියේ, එම අරමුදලෙන් අමාත්‍යංශ කිහිපයක වැඩකොටසක් සිදුකළ හැකි බවය.

තවත් කියවන්න: