රාජාංගනය ගොවීන් පොලිසියට පහර දෙමින් උද්ඝෝෂණය කළේ ඇයි?

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
තඹුත්තේගම ගොවි උද්ඝෝෂණය

රාජාංගනය වැව් ජලය කෘෂිකාර්මික අරමුණුවලින් බැහැරව වෙනත් ව්‍යාපෘතීන් සඳහා යෙදීම නතර කරන ලෙස තමා සිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබූ බව වාරි කර්මාන්ත ඇමති විජිතමුණි සොයිසා පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ රාජාංගනයේ වැව් ජලය මුල්කර ගනිමින් බදාදා (පෙබරවාරි 28) තඹුත්තේගම පැවති ගොවි උද්ඝෝෂණයක් අතරවාරයේ ගොවීන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එම ගොවි උද්ඝෝෂණය අතරවාරයේ ඇතිවූ ගැටුමින් පොලිස් නිලධාරීන් හතර දෙනෙක් තුවාල ලද බව පොලිසිය පවසන අතර, තමන්ට පහර දුන් පොලිසිය ගොවීන් හතළිහක් පමණ අත්අඩංගුවට ගත් බව ගොවි සංවිධාන නියෝජිතයෝ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළහ.

ඇමති නියෝගය නොතකා

"රාජාංගනය වැවේ ජලය පානීය අරමුණු සඳහා සැපයීමට අවසර දීම මම ඇමති පදවිය භාර ගැනීමට පෙර සිදු වූ දෙයක්" ඇමතිවරයා පවසයි.

"ඒ ගැන මට වාර්තා වූ වහාම මම නියෝග කළා - ගොවිතැනට ජලය මදි වේනම් වෙනත් කරුණුවලට ජලය සැපයීම නොකළ යුතුය කියල. මොකද? වැව් හැදීමේ පළමු අරමුණ ගොවිතැනට ජලය සැපයීම. ඒත් දැන් බල ශක්ති සැපයුමටත්, පානීය ජලය සඳහාත් වැව් ජලය සපයනවා. ඒත් අපි ප්‍රමුඛතාව දිය යුත්තේ ගොවියාට ජලය සැපයීමටයි" වාරි කර්මාන්ත ඇමති විජිතමුණි සොයිසා පවසයි.

වාරිමාර්ග ඇමතිවරයා වශයෙන් තමාගේ පිළිවෙත එය බව සඳහන් කළ ඇමතිවරයා "රාජාංගනයේ වැවේ ජලය ගොවිතැනට හිඟවීමේ තත්ත්වයක් ඇත්නම් යෝජිත ජල ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ඒ ගැන විද්‍යාත්මකව කරුණු සොයා බලා කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්" බව බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

"මම රාජාංගනය ජලාශය අසලට ගිය අවස්ථාවේ ගොවීන් මට මේ ප්‍රශ්නය ගැන දැනුම් දුන්නා. මම ඒ සමඟයි ලේකම්වරයාට ගතයුතු ක්‍රියාමාර්ගය ගැන දැනුම් දුන්නේ" ඇමතිවරයා ප්‍රකාශ කළේය.

අද ගොවි උද්ඝෝෂණය පිළිබඳව ජනාධිපති ලේකම්වරයා තමා දැනුවත් කළ බවත් ඒ අනුව අදාළ නියෝගය යළිත් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවත් වාරි කර්මාන්ත ඇමති විජිතමුණි සොයිසා වැඩි දුරටත් කියා සිටියේය.

සමාන තොරතුරු:

පොලිසියේ ප්‍රතිචාරය

තඹුත්තේගම ගොවි විරෝධතාවට උද්ඝෝෂකයන් දෙදහසක් පමණ සහභාගී වෙමින් සිටි අතර මුලදී පොලිසිය ඔවුන්ට කිසිදු බලපෑමක් නොකළ ද, මහාමාර්ගය අවහිර කරමින් පෙරට ගමන් ගනිමින් පොලිස් නිලධාරීන්ට සහ පොලිසියේ දේපොළවලට පහර දුන් අවස්ථාවේ ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත් බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

" කලාඔය පාලම හරස් කළ උද්ඝෝෂකයන් අනතුරුව නගරය දෙසට ගමන් ගත්තා. ප්‍රාදේශීය ලේකම් ඇතුළු බලධාරීන්ට කතා කිරීමටත් පොලිසිය ඔවුන්ට අවස්ථාව ලබා දුන්නත් උද්ඝෝෂකයන් ඊට ඇහුන්කන් නොදී පොලිසියට ගල්මුල් වලින් පහර දුන්නා. ඉන් අනතුරුව ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තා" පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

රාජාංගනය වැව

බීබීසී සිංහල සේවය කළ විමසීමක දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළ පරිදි කලාඔය හරස් කොට ඉදි කරන ලද විශාල වේල්ලක් මගින් නිර්මාණය කරනු ලැබ ඇති රාජාංගනය වැව අක්කර 19,500ක් සඳහා වී වගාවට අවශ්‍ය ජලය සපයන ශ්‍රී ලංකාවේ විශාල වාරි ව්‍යාපෘතියකි.

එම නිලධාරියා පෙන්වාදුන් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපෘතිය පදවිය ජලාශය වන අතර දෙවැන්න රාජාංගනය ජලාශය වේ.

රාජාංගනය ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 81,000 ක් වන බවත් ඔහු සඳහන් කළේය.

"මේ වැව් නිර්මාණය කර තිබෙන්නේ ජලය තැන්පත් කොට ගොවීන්ට වගාව සඳහා සැපයීමට. ඒ නිසා රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොවි ජනතාව අතර මැසිවිලි පළ වෙමින් තිබුණා" එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.

"දැනට දැනගන්නට ලැබෙන ආකාරයට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය සඳහා එක දවසකට ජල අක්කර අඩි පනහක් වැය වෙනවා. එහෙම බැලුවොත් මාසයකට අක්කර අඩි 1500 ක් වැය වෙනවා. ඒ අනුව එක කන්නයක් (මාස හයක කාලයක්) තුළ පානීය ජලය හැටියට ජල අක්කර අඩි 9000 ක් නිකුත් කළොත් කුඹුරු අක්කර 2000 කට පමණ ජල හිඟයක් ඇති වෙනවා" වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරියා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

අද දියත් කෙරුණු ගොවි උද්ඝෝෂණය සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති උපාලි ඒකනායක රාජාංගන වැව් ජලය පානීය අවශ්‍යතා සඳහා යොදාගනු ලැබුවහොත් තම කෘෂිකාර්මික කටයුතුවලට ජල හිඟයක් ඇතිවනු ඇතැයි ගොවීන් කණස්සල්ලට පත්ව සිටින බව කියා සිටියේය.

මීට කලකට පෙර අනුරාධපුර නුවර වැව පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි පානීය ජල ව්‍යාපෘතියක් නිසා ජල හිඟයක් මතු වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර