මානව හිමිකම් කොමිසම රැස්වෙද්දී අතුරුදහන්වූවන්ගේ කාර්යාලයත් ඇරඹෙයි

Image caption අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන්නේ මානව හිමිකම් කොමිසම රැස්වීමට සමගාමීවය

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සඳහා නම් කරන ලද කොමසාරිස්වරුන්ට පත්වීම ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකට අනුව එම අදාළ පත්වීම් ලිපි භාර දෙනු ලැබීම ජනාධිපති මන්දිරයේ දී ඊයේ (පෙබරවාරි 28) සිදුව ඇත.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ නිරත කොමසාරිස්වරුන්ගේ මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කටයුතු කරයි.

සභාපතිවරයාට අමතරව තවත් කොමසාරිස්වරුන් හය දෙනෙක් ඒ සඳහා පත් කරනු ලැබ සිටිති.

කොමසාරිස්වරුන් පත් කරනු ලැබීමත් සමඟ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වෙයි.

Image copyright Getty Images
Image caption අතුරුදහන් පුතු එනතෙක් බලා සිටින මවක්

වත්මන් කොමසාරිස් මණ්ඩලය පත් කරනු ලැබ තිබෙන්නේ තුන් වසරක කාලයක් සඳහාය.

2016 වසරේ අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත අනුව එම කාර්යාලය ස්ථාපනය කරන ලැබ ඇත.

"ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලා ඔවුන්ගේ තත්ත්වය නීර්ණය කිරීම අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැවරෙන වගකීම වන අතර, මෙය ශ්‍රී ලංකාව විසින් දේශීය වශයෙන් නිර්මාණය කොට ක්‍රියාත්මක කරන සංහිඳියා යාන්ත්‍රණයන් හෙවත් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන්හි පළමු පියවර වන බව" රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

"අතුරුදන්වූවන්ගේ කාර්යාලය පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන ආයතනයක් වන බවත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් විපතට පත්වූ සහ දිවි ගලවා ගත් පවුල්වල සාමාජිකයන්ට අස්වැසිල්ලක් ලබා දීමත්, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට තිරසර හානි පූරණයක් උදෙසා පදනම දැමීමත් අතුරුදන්වූවන්ගේ කාර්යාලය විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන" බවත් එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි.

දේශපාලනඥයන් අතර පමණක් නොව නීතිවේදීන් අතරත් මෙම කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එකඟත්වයක් නොමැත.

Image caption අතුරුදහන්වූවන් වෙනුවෙන් දියත් කෙරුණ මහජන ව්‍යාපාරයක ප්‍රකාශනයක්

මෙය විදේශීය උවමනාවක් අනුව සම්මත කිරීමට යන පනතක් ලෙස හඳුන්වා දෙමින් එය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට තර්ජනයක් වන බව ඇතැමෙක් පවසද්දී එම මතය සනාථ කිරීමට ඉවහල් වෙන කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ ඇතුළත් නොවන බවට තවත් කණ්ඩායමක් තර්ක කරති.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර