"චීන සමාගමකට ජලය විකුණන කතාව බොරුවක්"

Image caption තඹුත්තේගම ගොවි-පොලිස් ගැටුමේ අවස්ථාවක්

තඹුත්තේගම පොලිසිය සහ ගොවීන් අතර ගැටුමකට පවා මුල් වූ රාජාංගනය වැව පදනම් කරගත් පානීය ජල ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගත් බව අනුරාධපුර දිසා ලේකම් ආර්.එම්.වන්නිනායක පවසයි.

බීබීසී සිංහල සේවය මගින් කරන ලද විමසීමකට පිළිතුරු දුන් දිසා ලේකම්වරයා, යෝජිත පානීය ජල ව්‍යාපෘතිය පදනම් කර ගනිමින් පැන නැගී ඇති ගැටළු තවදුරටත් සාකච්ඡා කෙරෙන අතර, ඒ අනුව එහි කටයුතු තාවකාලිකව අත්හිටුවන බව කියා සිටියේය.

රාජාංගනය පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව ඊයේ (පෙබරවාරි 28) තඹුත්තේගම නගරයේ දියත් කෙරුණ ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයක් විසුරුවා හැරීමට පොලිසිය මැදිහත් වූ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවිය.

Image caption එක් අතකින් ගොවිතැනටත් අනිත් අතින් බීමටත් ජලය හිඟවීම වියලි කලාපයේ ජනතාව මුහුණදෙන බරපතළ ගැටලුවකි

එම ගැටුමේදී තුවාල ලද පොලිස් නිලධාරීන් හතර දෙනෙක් රෝහල්ගත කළ බවක් පොලිසිය පවසන අතර, විරෝධතාවාදීන් පනස් නව දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි.

අදාළ ජල ව්‍යාපෘතිය මගින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශය, තඹුත්තේගම නගරය සහ එප්පාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයෙන් කොටසකට පානීය ජලය සැපයීමට සැලසුම් කර තිබුණ බව අනුරාධපුර දිසා ලේකම් ආර්.එම්.වන්නිනායක පවසයි.

කෙසේවුවද, ඊයේ (පෙබරවාරි 28) ඇති වූ ගොවි-පොලිස් ගැටුමෙන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජල ව්‍යාපෘතිය අත්හිටුවීමේ තීන්දුව ගත් බව දිසා ලේකම්වරයා බීබීසියට සඳහන් කළේය.

ඒ අතරම ඉදිරි කාලය තුළ ගොවීන් දැනුවත් කිරීමටද පියවර ගන්නා බවත් දිසා ලේකම්වරයා කියා සිටියි.

Image copyright Getty Images
Image caption පානීය ජල ව්‍යාපෘතීන් නිසා ගොවිතැනට ජලය හිඟවනු ඇතැයි ගොවි ජනයා මැසිවිලි පළ කරති

රාජාංගන පානීය ජල ව්‍යාපෘතිය මගින් වතුර බෝතල් නිෂ්පාදනය කරන චීන සමාගමකට ජලය සැපයීමේ සැලැස්මක් ඇති බවට ඇතැම් මාධ්‍ය ප්‍රකාශන සහ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පැතිර යමින් පවතින අදහස් පිළිබඳව බීබීසිය විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අනුරාධපුර දිසා ලේකම් ආර්.එම්.වන්නිනායක එම අදහස් බැහැර කරමින් "එය කිසිදු පදනමක් නොමැති සහමුළින්ම අසත්‍ය ප්‍රචාරයක්" වන බව කියා සිටියේය.

අදාළ ජල ව්‍යාපෘතිය ගොවි - පොලිස් ගැටුමක් තෙක් මෙතරම් දුර යනතෙක් අවශ්‍ය පියවර ගැනීමට අසමත් වීම පිළිබඳව බීබීසිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිසා ලේකම්වරයා "ගොවි සංවිධාන සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කළ බවත්, ඊයේ විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේත් එවැනි සාකච්ඡාවක් සිදු වූ පරිසරයක" බවත් සඳහන් කළේය.

Image caption පෙබරවාරි 28 ගොවි - පොලිස් ගැටුමේ තවත් අවස්ථාවක්

තවත් තොරතුරු;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර