මීතොටමුල්ල: කොළඹ නාගරික කොමසාරිස් ඉවත් කෙරෙයි

Image copyright SL AIR FORCE
Image caption 2017 ජුලි 14 වෙනිදා කුණු කන්ද කඩා වැටීමෙන් පුද්ගලයන් 32 මරණයට පත් විය

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ඒක පුද්ගල ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශයක් අනුව කොළඹ නාගරික කොමසාරිස්වරයා එම තනතුරින් ඉවත් කර තිබේ.

කොළඹ නාගරික කොමසාරිවරයා ලෙස කටයුතු කළ වී.කේ අනුර ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝකෙශ්වරන් තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සිකුරාදා (මාර්තු 02) සවස නිවේදනය කළේය.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර විසින් පෙබරවාරි 07 වෙනිදා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

ඒ අනුව එකී වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම වාර්තාව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලබා දෙනු ලැබ ඇත.

කොළඹ නාගරික කොමසාරිවරයා ලෙස කටයුතු කළ වී.කේ අනුර එම තනතුරෙන් ඉවත් කර ඇත්තේ අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශයකට අනුවය.

ඉහත කී ජනාධිපති විමර්ශන වාර්තාවේ අඩංගු නිර්දේශ තවමත් ප්‍රසිද්ධ කර නොමැත.

කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකරනු ලැබීම සහ විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම ද මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වී ඇතැයි වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මේ අතර බ්‍රහස්පතින්දා පැවති උත්සවයකදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වූ අමාත්‍ය චම්පික රණවක කියා සිටියේ අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ අතර ඊට වගකිවයුතු පාර්ශව ලෙස රාජ්‍ය ආයතන පහක් සහ පුද්ගලයින් ගණනාවක් නම් කර තිබෙන බවය.

ඉහත කී රාජ්‍ය ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර