පළාත්පාලන මැතිවරණය; ජවිපෙ එකම ජයග්‍රාහකයා !

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"මට මෙය ලැබුනේ මා කළ සේවය නිසා" ජවිපෙ නාගරික මන්ත්‍රී

2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවති කොට්ඨාස 4917 අතරින්, ජනතා විමුක්ති පෙරමුණට ජයගත හැකි වුනේ එක් ඡන්ද කොට්ඨාසයක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණට මුළු දිවයිනෙන් ම කොට්ඨාසයක් දිනා දීමට සමත්වූ පියසේන ප්‍රනාන්දු, 1956 සිට ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය හා සම්බන්ධව දේශපාලනයේ නිරත වූවෙකි.

වයස අවුරුදු 74 ක් වන පියසේන ප්‍රනාන්දු 2003 වසරේදී ජවිපෙට සම්බන්ධ වූ අතර පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙයි.

පළාත් පාලන ආයතන කීපයක හෝ බලය ලබාගැනීම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වූ නමුත්, එක් ආයතනයක් හෝ ජයගැනීමට ඔවුන්ට නොහැකි විය.

ජනතා විමුක්ති පෙරමුණට ජයගැනීමට හැකිවූ එකම කොට්ඨාසය වුයේ පානදුර නගර සභාවේ 'වෑකඩ උතුර' විය. එම කොට්ඨාසයට තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ පියසේන ප්‍රනාන්දු ජන්ද 566 ක් ලබාගත් අතර, හිටපු නගරාධිපතිවරයකුද වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයාට ලබාගත හැකිවුයේ ජන්ද 472 ක් පමණි.

Image caption "අවුරුදු ගාණකින් කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු කරලා නැහැ. ඒක නිසයි මේ ගැටලු"

මෙවර පානදුර නගර සභාවට ඉදිරිපත් කළ පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් තරගය එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පමණක් පැවතින.

"1956 දී ලංකා සමසමාජ පක්ෂයෙන් පානදුර ආසනයට තරග කරපු ලෙස්ලි ගුණවර්ධන මහත්තයා පිළිගෙන තමයි මම දේශපාලනයට ආවේ" බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් පියසේන ප්‍රනාන්දු සිය දේශපාලන දිවියේ ආරම්භය ගැන අදහස් දැක්වීය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවීමෙන් අනතුරුව 2006 දී පානදුර නගර සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වන පියසේන ප්‍රනාන්දු, 2011 මැතිවරණයෙන් පරාජයට පත්වන අතර, ජනතා විමුක්ති පෙරමුණට එවර කිසිදු මන්ත්‍රී නියෝජනයක් නොලැබුණි.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණ සිය කොට්ඨාසය ජය ගත් ඔහු පානදුර නගර සභාවට තේරීපත්වන්නේ සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාසයක් ජයග්‍රහණය කළ එකම මන්ත්‍රීවරයා ලෙසය.

"ගොඩක් සතුටුයි ජයග්‍රහණය ගැන. මම 1956 ඉඳල මේ ප්‍රදේශයේ දේශපාලනය කරලා තියෙනවා. සමාජ සේවා කටයුතු කරලා තියෙනවා. ජනතාවත් එක්ක ඉඳලා තියෙනවා. ඒක නිසා ඔවුන් විශ්වාස කරලා තියෙනවා - මාව තෝරා ගත්තොත් ඉදිරි අවුරදු හතර තුළ මම ලොකු වැඩක් කරාවි කියලා"

සිය කොට්ඨාසයේ සිටින ඉඩම් ඔප්පු නොමැති නිවාස හිමියන් තිස්පස් දෙනාට ඒවාට අවශ්‍ය ඔප්පු ලබාදීම පියසේන ප්‍රනාන්දුගේ ප්‍රධාන බලාපොරොත්තුව වෙයි.

"මේකට මම 2006 ඉඳන් මහන්සි වෙනවා, මේ පාර ඒක කොහොම හරි කරලා දෙනවා" පියසේන ප්‍රනාන්දු සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුව පිළිබඳව සිහිපත් කරයි.

තම කොට්ඨාසයේ මාර්ග සහ කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොමැති බව පෙන්වා දෙන ජවිපෙ නාගරික මන්ත්‍රීවරයා, ඒ සඳහා නගර සභාව සමග එක්ව යම් වැඩපිළිවෙලක් සකස් කරන බව පැවසුවේය.

"අවුරුදු ගාණකින් කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු කරලා නැහැ. ඒක නිසයි මේ ගැටලු"

Image caption ඉඩම් ඔප්පු නොමැති නිවාස හිමියන් 35 දෙනාට ඒවාට අවශ්‍ය ඔප්පු ලබාදීම ඔහුගේ ප්‍රධානතම බලාපොරොත්තුවය

පියසේන ප්‍රනාන්දු මේවන විටත් සිය මැතිවරණ කොට්ඨාසයට මාතෘ සහ ළමා සායනයක්, පෙර පාසලක් හා කියවීමේ ශාලාවක් ලබා ගැනීමට දායකවී ඇති අතර, ඉදිරි කාලයේ ඒවා තවත් වැඩිදියුණු කර, ප්‍රදේශයේ ජනතාවට උසස් සේවාවක් ලබාදීමට අපේක්ෂා කරයි.

"මේ කියවීමේ ශාලාව, පුස්තකාලයක් කරන්න ඕනේ. දැනට තියෙන්නේ පත්තර විතරයි. ඒ වගේම පෙර පාසලත් තව දියුණු කරන්න ඕන"

කොට්ඨාසයේ කටයුතු සඳහා තම පක්ෂයේ සහායද ලැබෙන නිසා තම කටයුතු පහසුවන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ප්‍රතිඵලය ගැන ඔහු තෘප්තිමත් නැත.

"අපේ ඡන්ද වල ප්‍රගතියක් තියෙනවා, නමුත් අපි මිට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණා. මේකෙන් සෑහීමකට පත්වෙන්න බැහැ" ඔහු පවසයි.

දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති ප්‍රාදේශීය දේශපාලන නායකයකු ලෙස ඔහුට වර්තමාන දේශපලන පරිසරය ගැන ඇත්තේ නොසතුටකි.

"මේ යන ක්‍රමයට මිනිස්සුන්ට දේශපාලකයන් එපා වෙලා තියෙන්නේ. මැතිවරණයත් එපා වෙලා තියෙන්නේ. මේ මගේ කොට්ඨාසයේත් 2000 ක් විතර ඡන්දේ දැම්මෙ නැහැ"

තරුණ පිරිස් දේශපාලනයට උනන්දු නොවීම එතරම් හොඳ සළකුණක් නොවන බවත් ඔහු පවසයි.

"මේ දැන් තියෙන ක්‍රමය නිසා මුළු සමාජයම පිරිහෙලා තියෙනවා. මේකට විසඳුම, මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමයි"

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර