අම්පාර ප්‍රහාර ගැන 'විශේෂ විමර්ශනයක්'

පසුගිය පෙබරවාරි 26 වෙනි දින අම්පාරේ මුස්ලිම් පල්ලියකට සහ ව්‍යාපාරික ස්ථානවලට පහරදීම සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන මෙන් මඩකලපුව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එම පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී "අඩුපාඩු සිදු වූ බවට" පැමිණිලි ලැබී තිබෙන බව ද නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් ඉරිදා (මාර්තු 04) නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ගැටුම සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසම්පූර්ණ බවටත් තොරතුරු ලැබී ඇතැයි ද නිවේදනයේ සඳහන් වේ.

අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබුණි.

ප්‍රහාරයෙන් වාහන කිහිපයකට ද අලාභ හානි සිදු විය.

සිදුවීමෙන් අනතුරුව අම්පාර නගරයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීහු කටයුතු කළහ.

ප්‍රහාරයෙන් අලාභහානි සිදු වූ පෞද්ගලික දේපොළ, වෙළෙඳසැල් මෙන්ම මුස්ලිම් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය අමාත්‍යාංශය පවසයි.

"මෙම උණුසුම් තත්ත්වයේදී සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වගකීමෙන් යුතුව කැප වූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්‍ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත් සියලූ ජනකොටස් වෙත විශේෂ ස්තුතියක් පිරිනමනු කැමැත්තෙමු," යනුවෙන් ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර