ජනපති හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරයි

තෙල්දෙණිය

ජනාධිපතිවරයා විසින් රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

රටේ ඇතැම් කොටස්වල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මේ පියවර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අපරාධකාරී කොටස් මැඩ පැවැත්වීමට මෙන්ම වහාම සමාජය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂක හමුදා ද සුදුසු පරිදි බලගැන්වෙන බව එහි වැඩිදුරටත් දැක්වේ.

අද (මාර්තු 06) උදෑසන ජනාධිපතිවරයා හා අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹිණි.

මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා මතුවීමත් සමග රජය මෙවැනි පියවරක් ගැනීම පිළිබඳව අවධානය යොමු කළේය.

සමාජ මාධ්‍ය ජාල අවභාවිතය

බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජාතිවාදී කලබල මතුවී ඇති වත්මන් තත්වය මැඩ පැවැත්වීම මෙසේ හදිසි නීතිය පැනවීමේ අරමුණු වූ බවය.

එසේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද එහිදී තීරණය වූ බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසු පරිදි මතුවූ සිදුවීම්වලදී පොලිසිය දැක්වූ උදාසීන බව අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
Theldeniya

මළසිරුරක්

මේ අතර දිගන ප්‍රදේශයක ගිනි තැබු නිවසක තිබී 24 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුර අද උදෑසන සොයා ගැනිණි.

"අපි හිතුවා, අපේ ගෙදරට ගිනිතබනකොට එයා පැනලා යන්න ඇති කියල. ඒත් අද උදේ අපි එතනට ආ පසු දැක්කා ඔහුගේ මළසිරුර" යැයි මියගිය අබ්දුල් බාසිත් නම් තරුණයාගේ සොයුරා බීබීසී වෙත පැවසීය.

මේ අතර ප්‍රදේශය නියෝජනය කරන පළාත්සභා මන්ත්‍රී හිදයත් සත්තර් පැවසුවේ "දිගන හා තෙල්දෙණිය ප්‍රහාරවලදී දේවස්ථාන 4ක්, නිවාස37 මෙන්ම වෙළෙඳසල් 46 ට හානිවී තිබෙනවා." යනුවෙනි.

මේ අතර තෙල්දෙණිය හා දීගන ප්‍රදේශවල හටගත් තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ම බලපැවැත්වෙන පරිදි පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (මාර්තු 06) උදෑසන 6 ට ඉවත් කෙරුණ ද තෙල්දෙණිය හා පල්ලෙකැලේ යන ප්‍රදේශවලට එය යළි පැනවිණි.

දිගන ප්‍රදේශය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව ද පොලිස් ප්‍රකාශකවරයා නිවේදනය කළේය.

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය.

ඒ සමග අදාළ ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර දිගන ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවාස ගණනාවක් ද ප්‍රහාරවලට ලක්වූ අතර ඇතැම් ඒවා ගිනි තබා විනාශ කර ඇත.