මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන ආණ්ඩුව, ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන සහ තෙල්දෙණියේත්, ඊට පෙරාතුව අම්පාරේත් හටගත් "ජාතීන් අතර අසමගිය ඇතිවන, ගැටුම් ඇතිවන" ප්‍රහාර පිළිබඳව ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම ගැටුම්වලදී ජීවිත සහ දේපොළ හානි වූ සියලු පවුල්වලට බලවත් කනගාටුව සහ වේදනාව ප්‍රකාශ කළේය.

රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එම ප්‍රකාශය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම පිණිස ඉදිරියටත් පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.

ගැටුම් වැළැක්වීම පිණිස මැදිහත්වන මෙන් ජනාධිපතිවරයා බෞද්ධ මහානාහිමිවරුන් ඇතුළු ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

තවත් කියවන්න:

කෙසේ වුවත් හදිසි නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුවත් මහනුවර ඇතුළු ඇතැම් ප්‍රදේශවල තවදුරටත් උණුසුම් තත්වයක් පැවති බව බීබීසී සිංහල සේවයට වාර්තා වේ.

මේ තත්වය යටතේ මහනුවරට තවත් හමුදා ඛණ්ඩ පිටත්කර හැරීමට ආණ්ඩුව තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රී 08 සිට බදාදා උදෑසන 06 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් වරක් පොලිස් ඇඳිරි නීතිය පණවා තිබෙන අතර, දිස්ත්‍රික්කයේ සියලුම පාසල් බදාදා දෙවැනි දිනයටත් වසා දැමීමට ද තීරණය කර තිබේ.

'ජාතිවාදී ප්‍රවණතාව'

තෙල්දෙණිය, දිගන සහ අම්පාරේදී මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ලවීම පිළිබඳව කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පාර්ශව දෙකටම වර්තමානයේ ජාතිවාදය අවශ්‍යව තිබෙන බවය.

එබැවින් ශ්‍රී ලංකාවේ වරින්වර මතුවන ජාතිවාදී ප්‍රවනතාව "ඕපපාතිකව පැන නගින්නක්" නොවන බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

"ආණ්ඩුව ආර්ථික වශයෙන් අද අසමත්කම් විශාල ප්‍රමාණයක් පෙන්නලා තිබෙනවා. ආණ්ඩුකරණයේදී අසමත්භාවයට පත්වෙලා තියෙනවා," ඔහු පැවසීය.

එබැවින් සිංහල සහ මුස්ලිම් ජනතාව එකිනෙකා ඇනකොටා ගැනීම ආණ්ඩුවට "හිතකර වාතාවරණයක්" නිර්මාණය කරද්දී, "පරාජිත දේශපාලන පාර්ශවය" ද ජාතිවාදය උසිගන්වමින් සිටින බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේය.

"අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම යළි බලයට පත්වීම සඳහා ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම බවට පත් වී තිබුණේ ජාතිවාදය."

බලය හිමි පාර්ශවය බලය පවත්වා ගැනීම පිණිස ජාතිවාදය යොදාගන්නා අතරවාරයේ, බලය අහිමි පාර්ශවය යළි බලයට පත්වීම පිණිස "ජාතිවාදී ප්‍රවනාතාවයන් වර්ධනය කළ" බව ජනතා විමුක්ති පෙරමුණේ විග්‍රහයය.

දෙමළ ජාතික සන්ධානය

මේ අතර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ, දිගන සහ අම්පාරේ දී මුස්ලිම් පල්ලිවලට හා කඩසාප්පුවලට පහරදීම කවර වරදක් කළත් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට රටේ ඇතැම් කොටස් තුළ පවතින මතය විදහා දක්වන්නක් බවය.

එබැවින් නීතිය හා සාමය සම්බන්ධ කරුණකට වඩා මුල් බැස ගිය බරපතල ප්‍රශ්නයක් රටේ පවතිනවා නොවේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

"මේ රටේ සෑම පුරවැසියෙකුටම සමානයන් සේ සලකනවද? රාජ්‍යයේ වත්මන් ව්‍යුහය යටතේ ඔවුන් හැම දෙනාටම සාධාරණය ඉටුවෙනවාද?" විපක්ෂනායක ආර් සම්බන්ධන් ප්‍රශ්න කළේය.

"රටේ එක ප්‍රජාවකට හැඟීමක් තියෙනවා ඔවුන් අනෙක් අයට වඩා ඉහළයි කියල. අනෙක් අය තමන්ට වඩා පහළයි කියල; අපි හැමෝටම වඩා ඉහළයි, හැබැයි අනිත් හැමෝම දෙවෙනි පන්තියේ පුරවැසියන් කියල," යනුවෙන් ඉතා වේගවත් ලෙසින් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය

මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවෙමින් තිබෙන ප්‍රහාර සහ හදිසි නීතිය පැණවීම සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැනගැනීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම ආණ්ඩුවේ වගකීම වන අතර, නොසන්සුන් තත්වයක් මතු වූ අවස්ථාවේ වහා පියවර ගනු ලැබුවේ නම් ගැටුම් පැතිරයාම වැළැක්විය හැකිව තිබුණු බව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබුණි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ, ජනවර්ග නායකයන් වහා හමු වී පවතින තත්වය සන්සුන් කිරීමට පියවර ගත යුතුව ඇති බවය.

ගැටුම් වැලැක්වීම සඳහා ආණ්ඩුව කල්තබා පියවර ගත යුතුව තිබිනැයි ද සඳහන් කළ මන්ත්‍රීවරයා කෙසේ වුවද මේ මොහොතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන ඒකාබද්ධ විපක්ෂය එරෙහි නොවන බවත් සඳහන් කළේය.

එහෙත් හදිසි නීතිය මගින් සාමාන්‍ය නීතිය අභිබවා යාමක් සිදුවෙන හෙයින් එය භාවිතා කළ යුත්තේ ඉතා ප්‍රවේසමෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර බීබීසී සිංහල සේවයට පැවසීය.

''දේශපාලන බල තණ්හාවෙන් සිටින ඇතැම් කොටස්" රටේ ජනජීවිතය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින බවට අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට විය හැකි නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් රටේ පාලනය භාරගැනීමට බලාපොරෝත්තුවෙන් සිටින බැවින් දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමෙන් තමන්ට කිසිදු වාසියක් අත් නොවන බවය.

මේ අතර පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම වෙනත් ආකාරයෙන් ද සැලසුම් සහගත ලෙසින් ජාතිවාදී ප්‍රචාර දියත්වෙමින් තිබෙන බව සඳහන් කළේය.

එබැවින් ජාතිවාදය මතින් සිය අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කරන "දේශද්‍රෝහීන්ගේ" ගොදුරු බවට පත් නොවන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

සබැඳි යොමු: