සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද?

Image caption සමාජ ජාල මාධ්‍ය භාවිතය අතින් ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය හිමිකර ගන්නේ ෆේස්බුක් අඩවියයි

ශ්‍රී ලංකාවේ සමාජ ජාල මාධ්‍ය අවහිර කරනු ලැබීමත් සමඟ මාර්තු අට වෙනිදා මධ්‍යාහ්නයේ පටන් රට තුළ සන්නිවේදන කටයුතු අඩාල වී ඇතැයි සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පවසයි.

මහනුවර ප්‍රදේශයේ ගැටුම් ගැන කටකතා පැතිර යමින් පවතින අතරවාරයේ ව්‍යාජ ප්‍රකාශන පතුරුවා හැරීම සඳහා සමාජ ජාල මාධ්‍ය උපයෝගී කර ගන්නා බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවේ නියෝගය පරිදි ඊට අවහිර කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් පියවර ගනු ලැබුණි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විදුලි සංදේශ ඇමති හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ගෙන ඇති වාරණ තීන්දුව විස්තර කළේ "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවරක් හැටියටය.

"මිනිසුන් එක්තැන් කිරීම සඳහා නිමැවුණ තාක්ෂණයක් මිනිසුන් වෙන්කොට ඇද ගැනීම සඳහා භාවිත කෙරෙන ආකාරය පසුගිය දින කීපයේදී දකින්නට ලැබුණ" බවත් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා සඳහන් කර ඇත.

එම තාවකාලික වාරණය පිළිබඳව BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම, ශ්‍රී ලංකාව තුළ 'ෆේස්බුක්' ගිනුම් හිමියන්ට ඔවුන්ගේ අඩවිවලට පිවිසීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption සමාජ ජාල මාධ්‍ය ව්‍යාජ අදහස් පතුරුවා හැරීමේ යන්ත්‍රයක් විය යුතුද?

"විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අද දවාලේ අපේ ජංගම දුරකතනවලට පණිවුඩයක් ලැබුණා. එමගින් දැනුම් දුන්නේ අද මාර්තු අටවෙනිදා පටන් සමාජ ජාල මාධ්‍ය ගණනාවක් අවහිර කරනු ලැබ ඇති බව. මුලින් අපට දැන ගන්නට ලැබුණේ මහනුවර දිස්ත්‍රික්කයට පමණක් බලපාන මට්ටමින් සමාජ ජාල මාධ්‍ය අවහිර කෙරෙන බවක්. නමුත් දැන් මුළු රටම ආවරණය කෙරෙන මට්ටමින් එම අවහිර කිරීම බල පැවැත්වෙනවා" චානුක වත්තේගම පවසයි.

සමාජ ජාල මාධ්‍ය භාවිතය අතින් ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය හිමිකර ගන්නේ ෆේස්බුක් අඩවිය යයි සඳහන් කළ චානුක වත්තේගම 'ට්විටර්' පණිවුඩ භාවිතය තවමත් අතළොස්සකට සීමා වෙන බව පෙන්වා දෙයි.

සමස්ත දිවයින ආවරණය කෙරෙන මට්ටමින් සහ සියලු සමාජ ජාල මාධ්‍යයන්ට බල පැවැත්වෙන මට්ටමින් ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවත් චානුක වත්තේගම සිහිපත් කරයි.

"මෙහෙම දෙයක් වුණේ පළමු වතාවට. ලංකාවේ සමාජ ජාල මාධ්‍ය ඉතිහාසයේ පමණක් නොවෙයි, අන්තර්ජාල ඉතිහාසයේත් මෙවැන්නක් වාර්තා වුණේ පළමු වතාවටයි. මීට පෙර අන්තර්ජාල සබඳතා බිඳ වැටුණ අවස්ථා කීපයක් තියෙනවා. ඒත් ඒවා සිද්ධ වුණේ තාක්ෂණික හේතු නිසා. ඒවා සිදු වුනෙත් 2000 වසරට පෙර. දෙදාහෙන් පස්සේ මෙවැනි බිඳ වැටීමක් සිදු වූ පළමු වතාව මෙය කියන එකයි මගේ අදහස"

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල පවතින ගැටුම්කාරී තත්වය හමුවේ මේ අවහිර කරනු ලැබීම පිළිබඳව අන්තර්ජාල ග්‍රාහකයන් තමවත් නිශ්චිත මත පළ කිරීමක් නොකරන බවත් සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පවසයි.

මේ අවහිර කරනු ලැබීම අන්තර්ජාල පුවත්පත්වලට පිවිසීම කෙරෙහිත් බලපෑ ඇති බව ඔහු කියා සිටියි.

Image copyright Getty Images
Image caption අන්තර්ජාලයට සහ සමාජ ජාල මාධ්‍යයට පිවිසීම සඳහා වෙනත් විධීන් ඇත

කෙසේවුවද, මෙවැනි අවහිර කිරීම සිදු කෙරුණත් අන්තර්ජාලයට සහ සමාජ ජාල මාධ්‍යයට පිවිසීම සඳහා වෙනත් විධීන් ඇති බවත් සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පිළිගනියි.

එහෙත් එවැනි වෙනත් විධි උපයෝගී කර ගනිමින් සමාජ ජාල මාධ්‍යයට පිවිසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 1% කටත් අඩු බව ඔහුගේ තක්සේරුව වෙයි.

සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පවසන පරිදි ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික ඥානය බොහෝ දෙනකුට නොමැතිවීමය.

කෙසේවුවද, අන්තර්ජාලයට පිවිස 'you tube' වැනි අංශ පරිශීලනයට තවමත් බාධාවක් නැති බවත් චානුක වත්තේගම පෙන්වා දෙයි.

සමාජ ජාල මාධ්‍යයට අවහිර කිරීම මිනිස් අයිතිවාසිකම් වලට පටහැණි යයි තර්කයක් ගොඩ නැගිය හැකි වුනත්, පවතින ගැටුම්කාරී තත්වය තවත් උග්‍ර කිරීම සඳහා ඇතැම් කොටස් සමාජ ජාල මධ්‍ය පාවිච්චි කරන හෙයින්, ඊට විකල්ප මතයක් ගොඩ නැගෙන බව සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පවසයි.

Image caption වාරණය අවශ්‍ය සහ අනවශ්‍ය අවස්ථා තිබේද?

"මහනුවර තත්වය නරක අතට හැරෙමින් තිබියදී එම ප්‍රදේශයේ ජීවත් නොවෙන පිටින් පැමිණි පිරිසක් කණ්ඩායම් ගැසීම සඳහා පුද්ගලයන් එකතු කර ගැනීමට සමාජ ජාල මාධ්‍ය පාවිච්චි කරන හැටි අපි දැක්කා. ඉතින් එවැනි අවස්ථාවක ආණ්ඩුවලට කලබල නතර කිරීමට මෙවැනි ආන්තික පියවර ගන්න සිද්ධ වෙනවා" චානුක වත්තේගම සඳහන් කරයි.

එවැනි අවස්ථාවක මානව හිමිකම් මෙන්ම අනිත් අතින් රටේ පවතින තත්වයත් සැලකිල්ලට ගැනීමට සිදුවෙන බව ඔහු පෙන්වා දෙයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර