"මහනුවර සන්සුන්" බව කියවෙද්දී නීතිය හා සාමය රංජිත්ට මාරුවෙයි

Image caption මහනුවර නගරය - මාර්තු 08

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලයක් තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසයි.

ඒ අනුව අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

මහනුවර තත්ත්වය සාමකාමී බවට පත්වෙමින් තිබෙන බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසීය.

"සුළු සිද්ධීන් කිහිපයක් හැරෙන්නට කිසිදු ප්‍රධාන කළහකාරී සිදුවීමක් නැහැ, තත්ත්වය දැන් සාමකාමීයි" ඔහු පැවසුවේය.

මේ අතර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන හිදායත් සත්තාර් කියා සිටියේ නිවසක් ගිනි තැබීමේ සිදුවීමක් හා ගල් පහර එල්ල කිරීමේ සිදුවීම් කිහිපයක් පමණක් ඊයේ වාර්තාවූ බවය.

ඊයේ සවස ඇතිවූ කළහකාරී ක්‍රියාවන්වලින් පසුව ප්‍රදේශ රැසක ආරක්ෂාවට නාවික හමුදාව යෙදවීමත් සමග ඉතා හොඳින් තත්ත්වය පාලනය වී ඇති බව ද ඔහු කියා සිටියේය.

සබැඳි තොරතුරු:

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවුනේ ඇඳිරි නිතිය අද (මාර්තු 08) ප.ව. 6.00 ට නැවත පැනවීමට නියමිත බවකි.

සාමාන්‍ය ජනතාවට පහසුකම් සලසා ගැනීමට අවකාශය සලසනු පිණිස, මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ඇති බව එම නිවේදනයේ සඳහන්වේ.

"ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී" යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සිය නිවේදනයෙන් දන්වා සිටී.

රංජිත්ට නීතිය හා සාමය

Image copyright PMD
Image caption රංජිත් මද්දුම බණ්ඩාර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙමින්

මේ අතර නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර පත්කර අද උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගියදා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ තාවකාලිකව එම ධුරය බාරගත් අතර එයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පසුව පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය ප්‍රකාශ කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, ඉන් අනතුරුව ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය එල්ලවිය.

කෙසේ නමුත්, එක්සත් ජාතික පක්ෂය නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය ධූරයට සරත් ෆොන්සේකාගේ නම නිල වශයෙන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබු බවත් ජනාධිපතිවරයා එයට අකමැත්ත පලකළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් බීබීසියට පැවසුවේය.

එම තත්ත්වය යටතේ මෙතෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් මද්දුම බණ්ඩාරට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය භාරකෙරිණි.

රංජිත් මද්දුම බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරයේත් දිගටම කටයුතු කරනවාද නැතිනම් එය වෙනත් ඇමතිවරයෙකුට ලබාදෙනවාද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර