"පොදු ප්‍රවාහන සේවා වලදී කාන්තාවන්ට හිරිහැර වෙනවා"

Image copyright Getty Images

රාත්‍රී කාලයේ පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා කාන්තාවන්ට විවිධ අන්දමේ අතවර සිදුවන බව කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය පවසයි.

මාර්තු 08 වෙනිදාට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිති කර ගනිමින් කාන්තාවන්ට 'රාත්‍රිය සුරක්ෂිත කරන්න' යන මැයෙන් පසුගියදා කොළඹදී පා ගමනක් පැවැත්විණි.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී බහුතර කාන්තාවන්ගේ අදහස වූයේ රාත්‍රී කාලයේ ගමන් බිමන් යාම කාන්තාවන්ට ආරක්ෂිත නොවන බවය.

"රෑ වෙලා වුනත් ගැහැණු ළමයෙකුට පාරේ යන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් එහිදී එක් තරුණියක් යැයි පැවසුවාය.

රාත්‍රී කාලයේ මෙවැනි පා ගමනක් සංවිධානය කිරීමේ අරමුණ කුමක්දැයි විමසූ විට "බටහිර රටවල කෙරෙනවා,'ටේක් බැක් ද නයිට්' (Take Back the Night) කියලා රාත්‍රියෙදි කෙරෙන මේ වගේ පා ගමන්. ඒකෙ අදහස රාත්‍රිය කාන්තාවන්ට සුරක්ෂිත කරන්න කියන එක" යනුවෙන් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයේ වැඩසටහන් නිලධාරිනී චමාලි අහංගම කියා සිටියාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"පොදු ප්‍රවාහන සේවා වලදී කාන්තාවන්ට හිරිහැර වෙනවා" - චමාලි අහංගම

ප්‍රසිද්ධියේ සාකච්ඡාවට බඳුන් නොවුනද, පොදු ප්‍රවාහන සේවාවල රාත්‍රියේ ගමන් ගන්නා කාන්තාවන්ට ශාරීරික හා මානසික පීඩා ඇතිවන අන්දමේ කටයුතු සිදුවන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

'ලිංගික අතවරයන්ට එරෙහි නිහඬ බව බිඳින්න', 'මම බඩුවක් නොවේ', 'ගැටලුව අඳුර නොව ඔබයි', 'මහ මග සුරක්ෂිතවිම අපගේ අයිතියයි' යනුවෙන් සඳහන් පුවරු එම පා ගමනේ දී දැකගත හැකිවිය.

"මෙතැන ආරක්ෂාව පිළිබඳ විතරක් නෙවේ, ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා" යනුවෙන් චමාලි අහංග පැවසුවාය

ඉහත කී පා ගමනට විවිධ ආයතන නියෝජනය කරමින් කාන්තාවන් රැසක් සම්බන්ධවී සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද ඒ අතර විය.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර