මුස්ලිම් විරෝධී ප්‍රහාර: විපක්ෂයට චෝදනා කරන්නේ කුලප්පු කරන්න - මහින්ද

තෙල්දෙණිය සහ දිගන ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පැතිරගිය මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව විරුද්ධ පක්ෂයට චෝදනා කරන්නේ "කුලප්පු කිරීම" සඳහා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එම ගැටුම් මැඩ පැවැත්වීමේ වගකීම පොලිසිය නොව ආණ්ඩුව භාරගත යුතු බව ද මහනුවරදී බෞද්ධ අනුනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය මෙන්ම මවුලවිවරුන් ඇතුළු මුස්ලිම් නායකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

"පොලිසියට වඩා මම හිතන්නේ රජය වගකියන්න ඕන. පොලිසිය කියන්නේ රජයනේ. පොලිසියේත් සමහර වෙලාවට යම් යම් අඩුපාඩු තිබුණ," ඔහු පැවසීය.

මතුවී තිබෙන "ආරවුල" සහ "ප්‍රශ්නය" සමථයකට පත්කරන්නේ කෙසේ දැයි එහිදී දෙපාර්ශවය සාකච්ඡා කළ බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා, "මම ඇවිල්ල කරන්නේ රජය කළ යුතු කාර්යයක්. මුස්ලිම් ජනතාව මගෙන් ඉල්ලීක්මක් කළා. ඒ නිසයි ආවේ," යනුවෙන් ද සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය වගකිවයුතු බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න එල්ල කළ චෝදනාව තරයේ බැහැර කළ ඔහු පවසන්නේ, "ආණ්ඩුවේ අඩුපාඩු වහගන්න" ආණ්ඩුව විරුද්ධ පක්ෂයට චෝදනා කරන බවය.

"බේරුවලදීත් එයාල ඔය වැඩේම කළා. හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ."

තවත් කියවන්න:

එහෙත් පසුගියදා විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ද ශ්‍රී ලංකාවේ ජාතිවාදය උසි ගන්වන බවට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළහ.

දිගන සහ අම්පාරේ දී මුස්ලිම් පල්ලිවලට හා කඩසාප්පුවලට පහරදීම මගින් කවර වරදක් කළත් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට රටේ ඇතැම් කොටස් තුළ පවතින මතය විදහා දක්වන්නක් බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළ විපක්ෂනායක ආර් සම්බන්ධන්, එබැවින් නීතිය හා සාමය සම්බන්ධ කරුණකට වඩා මුල් බැස ගිය බරපතල ප්‍රශ්නයක් රටේ පවතිනවා නොවේ දැයි ප්‍රශ්න කළේය.

ඒ අතර කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ, සිංහල සහ මුස්ලිම් ජනතාව එකිනෙකා ඇනකොටා ගැනීම ආණ්ඩුවට "හිතකර වාතාවරණයක්" නිර්මාණය කරද්දී, "පරාජිත දේශපාලන පාර්ශවය" ද ජාතිවාදය උසිගන්වමින් සිටින බවය.

"අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම යළි බලයට පත්වීම සඳහා ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම බවට පත් වී තිබුණේ ජාතිවාදය."

මේ අතර මහනුවරදී දෙපාර්ශවයේ ආගමික නායකයන් මුණගැසීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා,"සිංහල ජනතාවත් ඉවසීමෙන් කටයුතු කරනවා වගේම මුස්ලිම් ජනතාවත් ඉවසීමෙන් හා රටට ප්‍රශ්න ඇතිනොවන ආකාරයට කටයුතු කිරීමේ වගකීම," එහිදී සාකච්ඡාවට බඳුන් වූ බව කියා සිටියේය.

"ඉවසීමෙන්, සාමයෙන් සියලු ජාතීන් එක්ක සාමයෙන් ඉන්න," යනුවෙන් ඔහු සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

මාධ්‍යවේදියෙක් එහිදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔහු, පසුගියදා හටගත් ආගම්වාදී ප්‍රහාර හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව කිසිදු ආකාරයකින් යටපත් නොවන බව සඳහන් කළේය.

"විශ්වාස භංගය යට යන්නේ නෑ. එහෙම හිතන්න ඇති. ඒක යට යැවෙන්නේ නෑ," හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

සබැඳි යොමු: