මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රහාර සංවිධානාත්මකව සිදුකරන ලද්දක් - රනිල්

අගමැති රනිල් මහනුවර

මහනුවර ප්‍රදේශයේ පසුගියදා හටගත් ජාතිවාදී ප්‍රහාර සංවිධානාත්මකව සිදු කරන ලද්දක් යයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එබැවින් එම ප්‍රහාර පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ අතම ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ ආගමික ප්‍රහාරවලින් සිදුවූ අලාභහානි පිළිබඳව සොයාබැලීමට දිගන, කෙන්ගල්ල සහ අකුරන යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය සේවකයින් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරුය් පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.

ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අගමැති රනිල් මහනුවර සංචාරයක

තවත් කියවන්න:

"මහනුවර ප්‍රදේශයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සංවිධානාත්මකව සිදු කළ බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. මේ ගැන කඩිනමින් පරීක්‍ෂණයක් පවත්වා ඊට අදාළ පියවර ගන්නා ලෙස මා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දැනුම් දී තිබෙනවා," අගමැතිවරයා මහනුවරදී පැවසීය.

"මෙවැනි සිද්ධී නැවත ලංකාවේ ඇති නොවන්නේ වැරැදිකරුවන්ට දඬුවම් කළොත් පමණයි. දඬුවම් නොකළොත් මෙය වෙනත් තැන්වලටත් යොමු විය හැකියි. ඒ නිසා වැරැදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි."

මේ අතර පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, දිගන සහ තෙල්දෙණිය අවට ප්‍රදේශ තුළ ආගමික පදනම මත හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා අහඹු හුදෙකලා සිද්ධියක් ලෙස සැලකිය නොහැකි බව අවධාරණය කර තිබුණි.

"අප නිලධාරීන්ගේ නිරීක්ෂණය වී ඇත්තේ දිගන ප්‍රදේශයේ දී පෙබරවාරි 22 වෙනිදා සිදු වූ පහරදීමකින් අවාසනාවන්ත ලෙස මියගිය පුද්ගලයාගේ අවට ගම්මානවල මුස්ලිම් සහ සිංහල ජනකොටස් අතර තවමත් සුහද සබඳතා පවතින බව"යයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ බෞද්ධ භික්ෂු මෙහෙයුම

ආගමික වෛරය මත පදනම් වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිදාමයන් හා වෛරී කථනයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ට අනුබල දෙන්නා වූ සියල්ලන්ටම එරෙහිව වාර්ගික, ආර්ථික, දේශපාලන හෝ සමාජ තරාතිරම් නොතකා දැඩි ලෙස නොපැකිලව කටයුතු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා වෙත සැලකර සිටින බව ද කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාරිනී දීපිකා උඩගමගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර මහනුවරදී අගමැතිවරයා මුණගැසුණු මුස්ලිම් ජනතාවගේ නියෝජිතයෙක් කියා සිටියේ තමන්ට තවමත් ආරක්‍ෂිත බවක් නොහැඟෙන බවය.

"රෑට මොකක් හරි සිද්ද වෙනවා. ඊට පස්සේ මිනිස්සු කැලේට දුවනවා," ඔහු පැවසීය.

පසුගිය සඳුදා (මාර්තු 05) සිට මහනුවර මුස්ලිම් පල්ලි 17 කට පහරදී තිබෙන අතර, ව්‍යාපාරික ස්ථාන 91 සහ නිවාස 62 සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගිණි තබන ලද සහ විනාශ කරන ලද නිවාසවල තිබුණු කණකර ආභරණ ඇතුළු වටිනා බඩු භාණ්ඩ කොල්ලකා තිබුණු බව මහනුවර කරන ලද සංචාරයකදී බීබීසී සිංහල සේවයට දැකගැනීමට හැකිවිය.

ආගමික පදනම මත හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර මීට සති දෙකකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධ වාර්ෂික වාර්තාව නිකුත් කළ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව සඳහන් කර තිබුණි.

මේ අතර පසුගිය මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මහ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කුමරු, 2017 වසර සටහන් වී තිබෙන්නේ වරින්වර තැනින් තැන වාර්තා වූ සහමුළින්ම අවසන් කිරීම දුෂ්කර ජනවාර්ගික නොසංසුන් තත්වයන් සහ සුළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර සහිත කාල වකවානුවක් හැටියට බව කියා සිටියේය.

උදාහරණයක් ලෙස ගිංතොට සිදුවීම් පිළිබඳව සඳහන් කළ වාර්තාව, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එම ප්‍රදේශයේ පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජනයා සතු නිවාස සහ ව්‍යාපාරික ආයතන හැත්තෑවක් පමණ විනාශ වූ බව ද පෙන්වා දී තිබුණි.

තවත් කියවන්න: