මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු කාන්තාවක් වෙඩි තැබීමකින් මරුට

Image copyright Getty Images

සිය පවුල ආර්ථික දුෂ්කරතාවලින් මුදවා ගැනීමේ අරමුණ ඇතිව මැදපෙරදිග රැකියාවට යන කාන්තාවන් මුහුණ දෙන දුක්ගැහැට අනන්තය.

දරුවන් තිදෙනෙකුගේ අනාගතය ගොඩනැගීමට විදේශගත වූ කාන්තාවක් සෞදි අරාබියෙදී සිදු වූ වෙඩි තැබීමකින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවට වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ වඳුරඹ කටඹුරාව අබේසුන්දර වත්තේ පදිංචි තිස්අට හැවිරිදි තිදරු මවක වන ප්‍රියංකා ජයසේකරය. සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී එම නිවසේ ජීවත් වූ බව සැලකෙන මානසික රෝගියෙකු ප්‍රියංකාට වෙඩි තබා එම පුද්ගලයා ද වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව ඉකුත් 13 වැනි දින ප්‍රියංකාගේ පවුලේ සාමාජිකයන් වෙත දැනගන්නට ලැබී තිබුණි.

Image caption සෞදි අරාබියෙදී සිදු වූ වෙඩි තැබීමකින් මියගිය ප්‍රියංකා ජයසේකර

ප්‍රියංකා විවාහ වී සිටියේ එල්. ජී. උපුල් (44) සමගය. මින් වසර විස්සකට පමණ පෙර විවාහ වූ ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටිති.

ප්‍රියංකා ප්‍රථමයෙන් විදේශගතව ඇත්තේ මීට වසර පහළොවකට පමණ පෙරය. වසර කීපයකට පසුව ඇය නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අතක ආබාධයකින් පෙලෙන සැමියා සහ හදවතේ සිදුරක් හේතුවෙන් නිතර අසනීප තත්ත්වයේ පසුවන තම ඇට හැවිරිදි බාල දියණිය රැක බලා ගැනීමට අවශ්‍ය මුදල් සෙවීමේ අරමුණින් නැවතත් විදෙස්ගත වීමට ඇය තීරණය කර ඇත. ඒ අනුව මින් මාස නවයකට පෙර ඇය නැවතත් මැදපෙරදිග ගෘහ සේවා රැකියාවකට පිටත් වී තිබේ.

"මේ දරුවා අසනීපයෙන් ඉන්නේ. අමාරුකම් නිසාමයි ප්‍රියංකා නැන්දා රට ගියේ. එයා ගිහින් මාස නවයක් වෙනවා. මීට කලින් එයා රට ගිහින් වැඩ කරලා තියෙනවා. දැන් අපට දන්වලා තියෙනවා එයා වැඩ කළ ගෙදර සිටි මානසික රෝගී තැනැත්තෙක් එයාට වෙඩි තියලා ඔහුත් සිය දිවි නසාගෙන කියලා" ප්‍රියංකාගේ ඥාති දියණියක වන එම්. ජී. නදීකා ලක්මාලි බීබීසී සිංහල සේවය වෙත පැවසුවාය.

මෙවර විදේශගත වීමෙන් පසු ප්‍රියංකා පෙර මෙන් නිතර සැමියාට දුරකථන ඇමතුම් ලබා දී නැත. මේ හේතුවෙන් ඇය පිළිබද තොරතුරු විමසීමට ඇයගේ සැමියා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහායද ලබාගෙන තිබුණි.

Image caption ප්‍රියංකාගේ සැමියා සහ දියණියන් තිදෙනා

"නැන්දා රට ගියාට පස්සේ කතා කළේ නැහැ. පස්සේ අපි මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැන්වුවාම මාසෙකට සැරයක් කතා කරන්න හදලා දීලා තිබුණා. නැන්දා කතා කලාට කවදාවත් එයා ඉන්න ගෙදර මානසික රෝගියෙක් ඉන්නවා කියලා කියලා කිව්වේ නැහැ" යනුවෙන් නදීකා පැවසුවාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් පසු වරින් වර සැමියාට ඇමතුම් ලබා දුන් ප්‍රියංකා ඇය රැකියාව කරන නිවසේ මානසික රෝගියෙකු සිටින බව හෝ තමන්ට කරදර පවතින බව කිසිදු අවස්ථාවක පවසා නැත.

දින තුනකට පෙර ප්‍රියංකාගේ සැමියාට විදෙස් දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුම තම බිරිඳගෙන් යැයි සිතූ උපුල් "නෝනා ඔයා හොඳින්ද" යැයි විමසා තිබේ.

නමුත් එම ඇමතුම ලබා ගෙන තිබුණේ පිටස්තර පුද්ගලයෙකි. ප්‍රියංකාගෙන් තොරතුරක් නැති බවට ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසට එම පුද්ගලයා පැවසු බව උපුල් කියා සිටී.

කෙසේ වෙතත් ඉකුත් 13 වෙනිදා වන විට උපුල් වෙත ලැබුණේ අවාසනාවන්ත තොරතුරකි. එනම් සිය පවුල වෙනුවෙන් විදේශගත වූ ආදරණීය බිරිඳ මානසික රෝගී පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බවය.

Image caption "අන්තිමට කතා කළේ ගිය මාසේ 10 වැනිදා. ඊයේ (13) වැනිදා අපේ ඥාති සහෝදරයෙක් තමයි ඇවිත් කිවුවේ මේ වගේ සිද්ධියක් වෙලා කියල"

මේ තොරතුරුද දැනගන්න:

සිය බිරිඳගේ දේහය කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙස ප්‍රියංකාගේ සැමියා අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අදාළ මරණය සම්බන්ධයෙන් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, "මෙම සිද්ධිය වාර්තා වූ වහාම විදේශ රැකියා අමාත්‍යංශය අවශ්‍ය මැදිහත් වීම් සියල්ල කර තිබෙනවා. දැනටමත් අපි කණ්ඩායමක් මෙම මියගිය අයගේ දේහය මෙරටට ගෙන ඒමට යොමු කර තිබෙනවා. අපි හැකි ඉක්මනින් දේහය මෙරටට ගෙනවිත් දීමට කටයුතු කරනවා. ඒ වගේම මෙම සිද්ධිය නිසා අසරණ වූ සියලු දෙනා වෙනුවෙන් කළ හැකි උපරිමය කරන්න අපි කටයුතු කරනවා. මෙම සිද්ධියට අදාලව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්න හරීන් ප්‍රනාන්දු ඇමති තුමාගේ උපදෙස් පරිදි අප කටයුතු කරමින් සිටිනවා" ලෙසය.

"උපුල් මාමා රස්සාව කරන්නේ කළු ගල් කොරියක. එයාගේ අත උඩට කළුගලක් වැටිලා ඇඟිලි කැඩිලා ආබාධිත වෙලා ඉන්නේ. මේ නිසා ඔහුට බර වැඩක් කරන්න අපහසුයි. කොහොම වුනත් මේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන අතර, උපුල් මාමාට සහ දරුවන්ට ජීවත් වෙන්න උදව් කරන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි නදීකා තවදුරටත් පැවසුවාය.

සිය මව නොමැති සොවින් ප්‍රියංකාගේ අට හැවිරිදි බාල දියණිය තම පියාට තුරුළු වී නොනවත්වා කඳුලු සැලුවේ රැස්ව සිටි සියලු දෙනා කම්පාවට පත්කරමිනි.

ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳු කාන්තාවෝ සිය ජීවිත පවා අනතුරේ හෙළමින් මැද පෙරදිග ගෘහ සේවයේ නියැලී සිටිති.

ශ්‍රී ලංකාවේ විදේශීය විනිමයෙන් ඉතා ඉහල ප්‍රතිශතයක් රටට ගෙනෙන්නෝ ඔවුහුය.

තවත් තොරතුරු: