ප්ලාස්ටික් බෝතල් ජලය සෞඛ්‍යාරක්ෂිතද?

Image copyright Getty Images
Image caption 'පානීය ජල බෝතල තුළ ප්ලාස්ටික් අංශු'

පානීය ජල බෝතල තුළ ප්ලාස්ටික් අංශු පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද 'State University of New York' විශ්වවිද්‍යාලය විසින් කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක වාර්තාවක සඳහන්වේ.

මෙම පරීක්ෂණය සඳහා රටවල් 9 ක වෙළෙඳපොළේ ඇති ලොව ප්‍රකට නිෂ්පාදකයන්ගේ ජල බෝතල 250 ක් පමණ යොදාගෙන ඇති අතර පරීක්ෂණයේ වාර්තා "අතිශය විපත්තිදායක නොවන නමුත්, නොසලකා හැරිය නොහැකි තත්ත්වයක්" බව අදාළ පර්යේෂණ කණ්ඩායම පවසති.

ශ්‍රී ලංකාව තුළ ද පානීය ජල බෝතල් පරිහරණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විටින් විට ගැටලු පැන නැගුණු බවට පුවත් වාර්තා විය.

විශේෂයෙන්ම උතුරු මැද පළාත කේන්ද්‍රකොටගෙන තිබෙන වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් පානීය ජල බෝතල්වලට තිබෙන ඉල්ලුම ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කළයුතු බවට නීති පනවා ඇත. එවැනි පානීය ජල බෝතල් නිෂ්පාදකයන් 125 ක් පමණ විවිධ මට්ටමින් තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයනා සතරසිංහ "සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමකින් තොරව වෙළෙඳපොළට පානීය ජල බෝතල් නිකුත් කළ නොහැකියි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව, ප්‍රමිති ආයතනය අදාළ නිෂ්පාදනයේ තත්ත්ව පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කරනවා" යනුවෙන් පැවසුවාය.

එම ඇගයීමේදී සැලකිල්ලට ලක්වන කරුණු;

  • බෝතලයේ ගුණත්වය
  • මූලාශ්‍ර ජලයේ ගුණාංග
  • අවසාන නිෂ්පාදනයේ ගුණාංග - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූලවේද යන්න මෙහිදී විමසා බැලේ. ඊට අමතරව, ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක් ද ඇත.
  • සමස්ත නිෂ්පාදනය පිළිගත් තත්ත්ව පාලන ප්‍රමිතීන් යටතේ සිදුවන්නේදැයි සොයා බැලේ.
  • පරිසරයට ඇතිකරන බලපෑම - පාරිසරික බලපෑම් අවම වන අන්දමින් අදාළ ජල මූලාශ්‍රයෙන් ලබාගත හැකි ජලය ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භූ විද්‍යාඥයෙකුගේ සේවය ද ලබාගනී.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පානීය ජල බෝතල් ව්‍යාපෘතියක් සඳහා නිර්දේශ ලබාදෙන්නේ මේ සියල්ලක්ම සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

එහෙත්, අදාළ නිර්දේශ ලබාදීමෙන් පසුව අනුමැතිය හිමිවන ව්‍යාපෘති පවත්වාගෙන යන අතරතුර නැවත පරීක්ෂාවක් කිරීමට ප්‍රමිති ආයතනය මැදිහත් නොවන බව නයනා සතරසිංහ පැවසුවාය.

Image copyright Getty Images
Image caption සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත අංකය තිබේදැයි පරීක්ෂා කරන්න

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලද පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගෙන් 90% ක් පමණ SLS සහතිකය ලබා ඇති බව ඇය ප්‍රකාශ කළාය.

"SLS සහතිකය සඳහා ඉල්ලුම් කරන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පසු විපරමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනිවාර්යයෙන්ම කරනවා." ඇය පැවසුවාය.

එම පසු විපරම් ක්‍රියාවලියෙදී,

  • අවසන් නිෂ්පාදන පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක් කෙරේ.
  • නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කෙරේ.

එහිදී නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම් බලපත්‍රය අවලංගු කරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමීපව කටයුතු කරන බැවින් එම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුවත් කරන බව නයනා සතරසිංහ පැවසුවාය.

ඒ අනුව පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ජල බෝතලයෙහි;

  1. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත අංකය අනිවාර්යයෙන්ම තිබේදැයි පරීක්ෂා කිරීම.
  2. SLS ලාංඡනය එහි නිෂ්පාදන තත්ත්වය පිළිබඳ සහතිකයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම.

යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

පානීය ජල බෝතලවලට අදාළ යම් අකටයුත්තක් සිදුවන්නේ නම්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වන ලෙසත්, විශේෂයෙන් ම SLS තත්ත්ව සහතිකය සහිතව එසේ වන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට දන්වන ලෙසත් ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා සිටින්නීය.

ඇමෙරිකාවේ සිදුකළ පානීය ජල බෝතලවල සොයා ගත් ආකාරයේ පිලාස්ටික් අංශු ශ්‍රී ලංකා වෙළෙඳපොළේ තිබිය හැකිදැයි කළ විමසීමට පිළිතුරු දුන් ඇය, ප්ලාස්ටික් බෝතල්වලට නිසි තත්ත්ව ප්‍රමිතියක් ලබාදී ඇති බැවින් එසේ විය නොහැකි බව ප්‍රකාශ කළාය.

Image copyright Getty Images
Image caption ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි නිෂ්පාදන සමාගම් උනන්දු කිරීමේ වැඩපිළිවෙලක්

පාරිසරික බලපෑම

භාවිතයෙන් අනතුරුව ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ශ්‍රී ලංකාවේ පරිසරයට කෙබඳු බලපෑමක් එක්කරන්නේද යන්න සම්බන්ධයෙන් බිබිසී සේවය, මධ්‍යම පරිසර අධිකාරියෙන් කළ විමසීමට පිළිතුරු දුන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, "පොලිතින් මෙන් ප්ලාස්ටික් බෝතල් සඳහාත් සීමාවක්" පැනවීම පිළිබඳ අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය.

ඒ අනුව "නිෂ්පාදකයාම තම නිෂ්පාදනයේ වගකීම ගතයුතුයි" යැයි යෝජනාවී ඇති බව මාධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පෙන්වා දුණි.

ඒ අනුව වෙළෙඳපොළට නිකුත්වෙන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි නිෂ්පාදන සමාගම් උනන්දු කිරීමේ වැඩපිළිවෙලකට යොමුවී ඇති බව ඔහු පවසයි.

විකල්ප ඇසුරුම් සඳහා වැයවන පිරිවැය සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින්, ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුණි.

ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම අවම කිරීමේ වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් නිෂ්පාදකයින් සමග සාකච්ඡා කෙරෙන බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර ආරක්ෂණ බලපත්‍රය අනුව මෙම නිෂ්පාදන ආයතන නියාමනය කරන බව සඳහන් කළේය.

"මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නෙ, මහජනයා කසල බැහැර කිරීම සම්බන්ධයෙන් දක්වන කැප කිරීමයි. කසල වෙන් කර බැහැර කිරීම තමන්ගේ වගකීමක් ලෙස මහජනයා සැළකිය යුතුයි" යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පවසයි.

සමාන තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර