"මාර්ග තදබදය හේතුවෙන්" අධිකරණයේ පෙනී නොසිටීම ගැන "සමාව යදිනවා"

තමන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි වූයේ අධික මාර්ග තදබදය හේතුවෙන් යයි අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබූ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියහ.

ඒ පිළිබඳ අධිකරණයෙන් සමාව අයදින බව ද මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නීති විරෝධී ලෙස රැස්වී මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා ලද විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කුරුඳුවත්ත පොලිසිය මගින් කරුණු වාර්තා කර තිබිණ.

සඳුදා (මාර්තු 19) අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබෙන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටියහ.

ඒ අනුව ඔවුන් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර සඳුදා වරෙන්තු නිකුත් කළේය.

ඉන් අනතුරුව අඟහරුවාදා (මාර්තු 20) මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ අධික මාර්ග තදබදය හේතුවෙන් තමන්ට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.

අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මින් ඉදිරියට නඩුව කැඳවන අවස්ථාවේ නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මන්ත්‍රීවරු දෙදෙනාට අවවාද කළේය.

අදාළ නඩු විභාගයේ සෙසු සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න ඇතුළු සැකකරුවන් හය දෙනෙක් සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අදාළ නඩු විභාගය ජුනි මස 12 වෙනි දින පැවැත්වීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර