අධිකරණ සංවිධාන පනත ගැන මේ කරුණු දැන සිටියාද?

LAW

මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා ඉතා කෙටි කලක් තුළ නීතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන සේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

එම අරමුණින් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් 2018 මාර්තු 06 වෙනිදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

නමුත් එය අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇත.

පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මතවීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජනිත අබේවික්‍රම ලියනගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, වෛද්‍ය චන්න සුදත් ජයසුමන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඩබ්ලිව්.ඩී.ආර්.ධර්මසිරි ගුණරත්න යන පිරිස මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබේ.

ඉන් අනතුරුව එම පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අතරමැදි පාර්ශ්ව විසින් පෙත්සම් දාහතරක් ගොනු කර ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම පසුගිය සිකුරාදා (16) වන දින ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් විභාගයට ගන්නා ලදී.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ ලෙස ක්‍රියාත්මක වන අධිකරණ වර්ගයක් නොමැති බැවින් එම කරුණ මත පමණක් වුවද පනත් කෙටුම්පත අවලංගු වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම තර්ක ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, කේ.ඩබ්ලිව්. ජනරංජන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය සහ ජගත් හේමචන්ද්‍ර යන පුද්ගලයන් ඉහත කී පෙත්සමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර සිටියහ.

මූල්‍ය අපරාධ, වංචා සහ දූෂණ නඩු විශාල ප්‍රමාණයක් විභාගයට ගැනීමට සහ තීන්දු ලබා දීමට ඉතා කල් ගත වීම මෙම නව අධිකරණ පනත් කෙටුම්පත යටතේ වැළකෙන බව එම පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබේ.

ඉදිරියේදී පිහිටුවීමට යෝජිත විශේෂිත අධිකරණය මගින් මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු අඛණ්ඩව විභාගයට ගෙන වරදකරුවන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට ද මැදිහත්කරුවන්ගේ පෙත්සම් මගින් උත්සහ කර ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු විධි විධාන මොනවාද?

2017 අගෝස්තු 21 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන:

  • අධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු නඩු සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් මහාධිකරණ විනිසුරුවන් ගණන අසූපහක් දක්වා ඉහළ නැංවිය යුතුය.
  • නමුත් 2017/08/23 වෙනි දින පැවති නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමේදී මහාධිකරණ විනිසුරුවන්ගේ ගණන අසූපහ දක්වා නොව 110 ක් දක්වා වැඩි කළ යුතු බව තීරණය කරන ලදි. එකී පදනම මත කමිටු මට්ටමින් සංශෝධනයක් ඇතුළත් කර ඇත.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබද විවාදයට තුඩු දුන් යෝජිත සංශෝධන:

  • මූල්‍ය අපරාධ, වංචා සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කිරීමට දැනට නීතිපතිවරයාට සහ අල්ලස් සහ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇති බලය පුළුල් කිරීම.
  • මහාධිකරණයේ නඩු විසඳීමට දීර්ඝ කාලයක් ගත වන හෙයින් මෙම නව අධිකරණවල දිනපතා නඩු විභාග පැවැත්වීමට හැකි වාතාවරණයක් ගොඩනැගීම.
  • අධිකරණය පැවැත්විය යුතු ස්ථානය තීරණය කිරීමේ බලය අධිකරණ අමාත්‍යවරයාට ලබා දීම.

මේ තොරතුරුද කියවන්න:

'පනත් කෙටුම්පතට විරුද්ධයි'

"නඩු ඉක්මන් කිරීම සහ මහාධිකරණ විනිසුරුතුමන් සංඛ්‍යාව වැඩි කිරීම ගැන නීතීඥ සංගමයේ නියෝජිතයෝ මුල් අවස්ථාවේ පැහැදිලිවම තම කැමැත්ත ප්‍රකාශ කර සිටියා. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක්," පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

"නඩු ඇසීම ඉක්මන් කිරීම හොඳ දෙයක්. නමුත් ප්‍රායෝගිකව අපහසුයි. එම අපහසුතාවලට විසඳුම් සොයා ගෙන මේ දේවල් කරනවා නම් හොඳයි. තත්වය එසේ තිබියදී මෙම සංශෝධන පනත් කෙටුම්පත නීතිඥ සංගමයට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තු නීති පුස්තකයට විවාදයට ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණා."

Image copyright URDESILVA/FACEBOOK
Image caption ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට නීතිපතිවරයාට සහ අල්ලස් සහ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනට ඇති බලය පුළුල් කිරීමට මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් වන බැවින් එය අහෝසි කළ යුතු බව කෙටුම්පතට එරෙහි පෙත්සම්කරුවන්ගේ මතය වී ඇත.

මෙමගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන අතර එය අගවිනිසුරු ඇතුලු සමස්ත අධිකරණ පද්ධතිය සතු බලය ඉවත් කිරීමට උත්සාහ කිරීමක් බවට තර්ක ඉදිරිපත්ව ඇත.

"නීතියට අනුව, යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන අවස්ථාවේ දී මහජනතාවට හැකියාව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර එය අභියෝගයට ලක් කරන්න. ඒ අනුව විවිධ පාර්ශව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කර සිටිනවා. සමහරු එයට මැදිහත්කරුවන් ලෙස පෙත්සම් ඉදිරිපත් කරමින් මෙම කෙටුම්පත සනාථ කිරීමට උත්සාහ කරනවා. මෙම අවස්ථාවේ නීතීඥ ප්‍රජාව සහ මහජනතාව සිටින්නේ එක් ස්ථාවරයක," යැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසුවේය.

මෙහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් ගොනුකළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන වන අතර, ඔවුන්ගේ තර්කය වූයේ මහාධිකරණ නඩු සඳහා පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය පරිදි දින ලබාගැනීමට අවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තවත් පෙත්සම්කරුවෙකු වන දිනේෂ් ගුණවර්ධනගේ තර්කය වී තිබේ. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වාය. මීට අමතරව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු තවත් නීතිඥවරු පෙත්සම් වෙනුවෙන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළහ.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා තවදුරටත් සඳහන් කර සිටියේ, "ත්‍රිපුද්ගල විනිසුරු සභාව සහිත මහාධිකරණය අමාත්‍යවරුන්ට කැමති ආකාරයට යම් යම් ස්ථානවල පිහිටු වීමට බලතල දීම සුදුසු වන්නේ නැහැ යන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ දේවල් නිසා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති වන්න ඉඩ තිබෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් කිරීම අගවිනිසුරුට අයත් කාර්යයක්. ඒ වගේම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් නඩුවක් විමසා තීන්දුවක් ලබා දුන් පසු එම තීන්දුවට එරෙහිව අභියාචනා කරන්න පුළුවන් එක් වරක් විතරයි," යනුවෙනි.

මහාධිකරණයකින් දිනපතා නඩු ඇසීමේ දී ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් මතු වන බව පෙත්සම්කරුවෝ පවසති.

"අපි නඩුවට සියල්ල සූදානම් කරගෙන ගියත්, රජයේ පාර්ශවයෙන් දන්වන්න පුළුවන් සාක්ෂිකරුවන් හෝ නඩු භාණ්ඩ සොයා ගන්න බැහැ කියල. එසේ සිදු වුණොත් නැවතත් පරණ විදියටම නඩුව කල් දැමීම හැර වෙනත් විකල්පයක් නැහැ. පූර්ව නඩුකරයක දී මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි," නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසුවේය.

'පනත් කෙටුම්පතට සහාය'

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නීති පද්ධතිය ආරම්භ වී වසර දෙසියයක් පමණ වේ.

කෙසේ වෙතත්, වර්තමානයේදී නඩු කල් යාම හේතුවෙන් ජනතා මුදල් සහ කාලය විශාල වශයෙන් අපතේ යන තත්වයක් දැකිය හැකිය. වරද සිදුකළ දිනයේ සිට අධිචෝදනාව මහාධිකරණයට ගොනු කිරීම අතර කාලය වසර පහකට ආසන්න වන අතර, සම්පූර්ණ අධිකරණ ක්‍රියාවලිය නිම කර තීන්දුව ප්‍රකාශ කිරීමට වසර එකොළහකට ආසන්න කාලයක් ගත වේ.

Image copyright KW Janaranjana/ Facebook
Image caption නීතිඥ කේ.ඩබ්. ජනරංජන

මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයටත් ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එම ක්‍රියාවලිය සඳහා තවත් වසර හතකට ආසන්න කාලයක් වැය වන අතර, ඒ අනුව යුක්තිය පසිඳලීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් වසර දාහතකට වඩා වැඩි කාලයක් ගතවන බව පසුගියදා කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡාවට බඳුන් විය.

ඉහත සඳහන් කාරණා මුල් කරගෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට පක්ෂව ද බොහෝ කරුණු ඉදිරිපත් වී තිබේ.

"අපේ නීතීඥවරු අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කිසිසේත්ම පටහැනි නොමැති බවයි. මේ පනතෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ දූෂණ, වංචාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයින්ගේ නඩු ඉතා ඉක්මනින් අසා තීන්දු ලබා දෙන්න. මෙයට විරුද්ධ පෙත්සම්කරුවන් කියා සිටිනවා වගේ විශේෂ අධිකරණයක් පිහිටුවන්නේ නැහැ. අපේ අධිකරණ පද්ධතියේ තිබෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර නඩු ඇසීමේ ක්‍රමය, සැමදාම පවතින මහාධිකරණයක් බවට පත් කිරීම මෙම පනතේ අරමුණ වෙනවා," යැයි පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

"මෙම අධිකරණයේ නඩු අසන්නේ දැනට සිටින මහාධිකරණ විනිසුරුවන් විසින්. පිටතින් කිසිම විනිශ්චයකාරවරයෙකු පත් කරන්නේ නැහැ. එම විනිසුරුවන් පත් කරනු ලබන්නේද අධිකරණ සේවා කොමිසම විසින්මයි. එහෙම බැලුවාම මේක රටේ පවතින තවත් එක් අධිකරණයක් පමණයි. ඒ වගේම අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා කලින් කලට අධිකරණ පිහිටුවීමේ බලය. එම බලය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේකට විරුද්ධ වෙන අය දෙස බැලුවාම පෙනී යනවා පසුගිය ආණ්ඩු කාලේ රටේ මහජන මුදල් මංකොල්ල කාපු පුද්ගලයන් තමයි මෙම පනතට විරුද්ධ වන්නේ. ඔවුන් කැලඹිලා තිබෙන්නේ මෙම අධිකරණය පිහිටුවීම තුළින් ඔවුන්ගේ වැරදි ඉතා ඉක්මනින් ඔප්පු වෙයි කියල," ඔහු තවදුරටත් පැවසුවේය.

Image copyright Getty Images
Image caption මහාධිකරණය - කොළඹ

නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සංකීර්ණ ආර්ථික සහ මූල්‍ය අපරාධ පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත යටතේ නව මහාධිකරණ ස්ථාපනය කිරීමට නියමිත බවය.

නිදසුනක් වශයෙන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි සංකීර්ණ අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම මහාධිකරණ ස්ථාපනය කිරීම යෝග්‍ය බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

"කිසියම් පුද්ගලයෙකුට විරුද්ධව චෝදනා තිබේනම් ඒවා ඉතා ඉක්මනින් විසඳුවාම ඔවුන් සැබවින්ම නිවැරදිකරුවන් නම්, ඒ බව ඔප්පු කර චෝදනාවලින් නිදහස් වීමට ඉඩ ලැබෙනවා," නීතීඥ කේ.ඩබ්ලිව්.ජනරංජන පැවසීය.

"ඒත් අවාසනාවකට ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ අවස්ථාවේ ඉතා නරක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරපු අය සමග එකට සිටගෙන, ඔවුනුත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒකෙ නරකම දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගෙන් සෑදුන කමිටුවක් ඉදිරියේ නීතීඥ සංගමයේ සභාපති ගොස් කරුණු ඉදිරිපත් කර මෙම සංශෝධන අනුමත කර පසුව මෙවැනි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකා නීතීඥ සංගමය කාගේ හෝ බලපෑමකට කටයුතු කරන බව අපට පෙනී යනවා."

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඉහත චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර සිටියේ, "මෙය හරි ක්‍රමය නොදැන කතා කිරීමක්. නීතීඥ සංගමය කියන්නේ කාගෙවත් අතකොළුවක් නෙමෙයි. මීට කලිනුත් මම ඒක පෙන්වා තිබෙනවා. සමහර පනත් කෙටුම්පත් රජය ඉදිරිපත් කළාම අපි සහයෝගය දක්වා තිබෙනවා. නමුත් අපිට එකක් කියල තව එකක් ඉදිරිපත් කරපු හැම අවස්ථාවේදීම අපි එයට එරෙහිව කටයුතු කළා. එය මහජනතාව සහ නීතීඥ ප්‍රජාවගේ ශුභසිද්ධිය වෙනුවෙන් කළ යුතු දෙයක්" යනුවෙනි.

"කෙටුම්පත සදහා තිබූ පාර්ලිමේන්තු සාකච්ඡා වාරයට මට අවස්ථාව දුන්නා සහභාගී වෙන්න. එහිදී මම ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණයට අමතරව තව අතිරේක මහාධිකරණ දෙකක් කොළඹ පිටුවන්න කියා යෝජනා කළා. එයින් නඩු කටයුතු ඉක්මන් වන නිසා. විනිසුරන් වැඩි කිරීමට හෝ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය පිහිටුවීම ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. රජය විනිසුරුවන් වැඩි කරලා කළේ ඉතා හොඳ දෙයක්. නමුත් දිනපතා නඩු ඇසීම ප්‍රායෝගික නැහැ කියා මම පැවසුවා. වසර තිස් හයක සේවා කාලයක නිරත වුණ මට තිබෙන දැනුම අපිට චෝදනා එල්ල කරන අයට නැහැ."

Image copyright Getty Images

මොකක්ද මේ අධිකරණ සංවිධාන පනත?

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) වෙනි වගන්තියට අනුව මුල් අවස්ථා අධිකරණ පද්ධතියක් පිහිටුවීම සහ සංස්ථාපනය කිරීම
  • එම අධිකරණවල අධිකරණ බලය නිශ්චය කොට දැක්වීම
  • අධිකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා ඇති විධි විධාන
  • ඇතැම් ලිඛිත නීති ඉවත් කිරීමට මෙන්ම
  • ඉහත සඳහන් කරුණුවලට සම්බන්ධ හෝ ආනුසංගික කරුණු සදහා ඇති විධි විධාන මෙම පනතෙහි සඳහන් වී ඇත.

ශ්‍රී ලංකාවේ පළමුවරට මහාධිකරණ පිහිටවූයේ 1973 දී වන අතර මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සතුව තිබූ අපරාධ නඩු විසඳීම සදහා වන අධිකරණ බලය මහාධිකරණයට පවරනු ලැබීය.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය ඉහළ අධිකරණ තුන ලෙස නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(2) වගන්තියට අනුව මහාධිකරණ පිහිටුවීම, ඉවත් කිරීම, සංශෝධනය කිරීම, වෙනත් ස්ථානයකට රැගෙන යෑමේ බලය පාර්ලිමේන්තුව සතුය.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවන් පත් කිරීමට නිර්දේශ කිරීම, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම සහ ධුරයෙන් ඉවත් කිරීමේ බලය අධිකරණ සේවා කොමිසම සතු වේ.

මහාධිකරණ සහ පළාත්බද මහාධිකරණවල නඩු විභාග කිරීමේ ක්‍රම තුන:

•එක් මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ නඩුව විමසීම

•ජූරි සභාවක සහය ඇතිව මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියෙහි නඩු විභාග කිරීම

•ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් නඩු විමසීම

තවත් තොරතුරු: