මහනුවර ප්‍රහාර: "පොලිසිය ගැන විශේෂ විමර්ශනයක්"

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ තුළ හටගත් ජාතිවාදී ප්‍රහාර මැඩපැවැත්වීමේදී පොලිසියෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් සිදුවූ දෝෂ සොයාබැලීමට පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන් හා අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව රජය පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඒ බව කියා සිටියේ බදාදා (මාර්තු 21) කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මහනුවර ගැටුම් සම්බන්ධයෙන් පොලිසියට එල්ලවෙන චෝදනා ගැන බීබීසී සිංහල සේවය නැගූ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමිනි.

"මේකට පොලිස් නිලධාරීන්ට චෝදනා කළාට පොලිස් නිලධාරීන් වැඩි කොටසක් හොඳට වැඩ කරලා තියෙනවා. අපි බලනවා කාගේ හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා," යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

නිවාසවලට, වෙළඳසැල් හා ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ලවෙද්දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බලා සිටින ආකරයේ CCTV දර්ශන මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

"අපි අත්අඩංගුවට ගත්ත සැකකරුවන් අතරේ ඉන්නවා ඒ මොහොතේම ප්‍රහාර එල්ලකරන්න ආපුවම අත්අඩංගුවට ගත් අය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තේ පල්ලියක් ගිනිතියද්දි. කෙසේ නමුත් යම් යම් පොලිස් නිලධාරීන්ගේ දෝෂ තියෙනවද කියල බලන්න විමර්ශන සිදුවෙනවා," යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

ආරක්ෂක අංශවලට චෝදනා

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, ආරක්ෂක අංශවල යම් පිරිසක් ඊට සම්බන්ධ බවට ඇති තොරතුරු නිසා ඒ ගැන ද වෙනම පරීක්ෂණයක් සිදුවන බවය.

ඊට අමතරව විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන ද පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇති බව පැවසූ ඇමතිවරයා අදාළ මන්ත්‍රීවරයාගේ නම පසුව එළිකරන බව සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මහනුවර ප්‍රහාර ගැන කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් වෙයි

"සනාථ වෙලා තියෙනවා ඒ මන්ත්‍රීවරයා පොලිසියට බලපෑම් කරපු හැටි, ඒ ගැන පරීක්ෂණ කෙරෙනවා."

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් 5 දෙනෙකු මෙම ගැටුම්වලට සසම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති බව කී රාජිත සේනාරත්න අමාත්‍යවරයා එයින් කීපදෙනෙකු අත්අඩංගුවේ පසුවන බව ද පැවසීය.

ගැටුම්වලට සම්බන්ධ අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අතර සිංහල සැකකරුවන් 264, මුස්ලිම් 41 හා වෙනත් 9 දෙනෙකු සිටින බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් පාසල් ළමුන් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ද අත්අඩංගුවේ පසුවේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක ගැටුම් පිටුපස සිටින බවට පළ වන වාර්තා පිළිබඳ මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කිරීමත් සමග රාජිත සේනාරත්න ඇමතිවරයා සහ එම මාධ්‍යවේදියා අතර උණුසුම් වාදයක් ද ඇතිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඊට පිළිතුරු දෙමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ඔහු පැවසුවේ පොදුජන පෙරමුණේ දේශපාලකයන් ක්‍රියාකාරිව ඊට සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණවලින් පෙන්නුම් කරන බවය.

එම චෝදනාව වසා ගැනීමට මෙලෙස අමාත්‍ය චම්පික රණවකට ඔවුන් චෝදනා කරන බව ඔහු කියා සිටියේය.

පසුගිය සතියේ විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමය හා සාකච්ඡාවක යෙදුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී කෝලාහලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළේය.

ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවානේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට එම අවස්ථාවට එක්ව සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ රටේ 100 දෙනෙකු අත්අඩංගුවට ගතහොත් එයින් 55 දෙනකු එම පක්ෂයේ සාමාජිකයන් වනු ඇති බවය. වර්තමානයේ රටේ ජනමතය එය බව ද ඔහු පැවසුවේය.

"අවාසනාවකට ඔබලා මාධ්‍යවල මේවට හාමුදුරුවරු සම්බන්ධ බවට කිව්වම මතයක් එන්න පුළුවන් මේකට රාජපක්ෂලා සම්බන්ධයි කියලා," යනුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

මහනුවර ගැටුමේදී කතාබහට ලක්වූ මඩකලපුව ශ්‍රි මංගලාරාමයේ විහාරාධිපති හිමිනම මහනුවර ගැටුමට දින කීපයකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ද ජනාධිපතිවරයා හමුවී ඇතැයි ප්‍රකාශ කළේය.

තම ආණ්ඩු කාලය තුළ අලුත්ගම ගැටුම හටගත් විට එය දිනකින් පාලනය කිරීමට තමන්ට හැකිවූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මහනුවර ගැටුම දින ගණනාවක් ඇදී යාම ආණ්ඩුවේ ආසාර්ථක පරිපාලනය පෙන්වන තවත් උදාහරණයක් බව ද සඳහන් කළේය.

තවත් වාර්තා: