විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දිය හැකි එජාප මන්ත්‍රීවරු "කිහිප දෙනෙක්ම ඉන්නවා"

රනිල් සහ මහින්ද Image copyright Getty Images

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් පසුගිය බදාදා (මාර්තු 21) කතානායක කරු ජයසූරිය වෙත භාර දෙනු ලැබීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන රාජ්‍ය ඇමති ටී.බී ඒකනායක, නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබුණි.

දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැති අතර එයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය නොමැතිව එම යෝජනාව ජයග්‍රහණය කිරීම අසීරු කරුණකි.

තවත් කියවන්න:

එසේ නම් එයට සහාය දීමට ඉඩ තිබෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කවුරුන්ද?

"ඒක දැනට කිසිසේත්ම කියන්න බැහැ එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර බීබීසී සිංහල සේවය මතු කළ ඒ පැනයට සිනහ සෙමින් ප්‍රතිචාරය පළ කළේය.

"එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් ප්‍රසිද්ධ කළ ගමන්ම අද ඉඳල 4 වෙනිද දක්වා ඒ නම පස්සේ දුවන එක තමයි කරන්නේ."

Image copyright PALITHA RANGE BANDARA/FB
Image caption "එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි"

කෙසේ වුවත් යෝජනාවට පක්ෂය සිය ඡන්දය භාවිත කරන්නේ දැයි මේ වනතෙක් අවසාන තීරණයකට එළඹ නැති බව සඳහන් කළ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් නොව "පක්ෂයේ සමස්ත ව්‍යුහයම" වෙනස් විය යුතුය යන්න සිය ස්ථාවරය බව අවධාරණය කළේය.

එසේ නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තමන් ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම සූදානම්ව සිටින බව ඔහු සඳහන් කළේය.

"මහජනයට ඇහුම්කන් දෙන, මහජන ප්‍රශ්න තේරෙන කණ්ඩායමක් මේ ස්ථානවලට පත්විය යුතුමයි."

එසේ නම් පක්ෂ නායකත්වයට සුදුස්සා කවුරුන්ද?

"මම විශේෂිත පුද්ගලයෙක්ව නම් කරන්නේ නැහැ. ඒ සඳහා අපි කණ්ඩායමක් විදියට එකමුතුව ගතයුතු තීන්දුවක්," අමාත්‍ය රංගේ බණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"සිංහල බෞද්ධයෙක් විය යුතුයි. මහජනතාවට ඇහුම්කන් දෙන කෙනෙක් විය යුතුයි. ඒ වගේම මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබෙන කෙනෙක් විය යුතුයි. ඒ වගේම අනෙකුත් ජාතීන් සමග, ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය රැකගත හැකි විශ්වසනීය පුද්ගලයෙක් විය යුතුයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් විය යුතුයි. එහෙම අය පක්ෂයේ ඉන්නවා."

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
නව කැබිනට් සංශෝධනය: ආණ්ඩුවේ ප්‍රතිචාර

කෙසේ වුවත් තමන් ඇතුලු කණ්ඩායමේ උත්සාහය "අවනීතික උදවියට යළිත් බලයට පත්වීම සඳහා අවස්ථාවක් උදා කර දීම" නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

"අපගේ කණ්ඩායම ඇතුළෙම බලය තබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තමයි මේ කටයුත්ත කළ යුතු වෙන්නේ."

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, "විශ්වාසභංගයට කළින් මේ පක්ෂ ප්‍රතිසංවිධානය සිදු කරන්නේ කෙසේද යන්න පක්ෂයේ යාවජීව නායකයාණන් වහන්සේ රටට, පක්ෂයට හෙළි කළ යුතුයි," යනුවෙන් ද කියා සිටියේය.

එසේ නොවුවහොත් පසුගියදා අගමැතිවරයාට පක්ෂව ලේඛනයකට අත්සන් තැබූ පිරිසත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමේ හැකියාව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද පසුගියදා පක්ෂ නායකත්වය දැඩි විවේචනයට ලක් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දරන මතය දැනගැනීම පිණිස ඔහු ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. එහෙත් යෝජනාව භාරදීමට ප්‍රථම කළ විමසීමකදී ඔහු කියා සිටියේ යෝජනාවේ අන්තර්ගතය සලකා බලා ඒ පිළිබඳ තීන්දුවකට එළඹෙන බවය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට අත්සන් නොතැබීම ගැන ද අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එයට සහාය පළ කර තිබෙන නමුත් පක්ෂය ඒ පිළිබඳ තීන්දුවකට එළඹ නැතැයි බීබීසී සිංහල සේවය සමග කියා සිටි පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා, තමන් පුද්ගලිකව එයට විරෝධය පළකරන බව ද සඳහන් කළේය.

තවත් ලිපි: