රෝගීන් සොයා නිවෙස්වලට යන වෛද්‍ය විශේෂඥයෙක්

Image caption ලෝක ක්‍ෂය රෝග දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පැවති පාගමනක්

දෙදහස් පහළොව වසරේ සිදු කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ක්‍ෂය රෝගීන් එකොළොස් දහසක් පමණ සිටින බව අනාවරණය වූ නමුත් එම සමීක්ෂණයට හසු නොවූ තවත් රෝගීන් හාරදහසක් පමණ රට තුළ ගැවසෙන බව ත්‍රිකුණාමලය මූලික රෝහලේ ක්‍ෂය රෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා එම ප්‍රකාශය කළේ ක්‍ෂය රෝගය (tuberculosis)සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ පා ගමනකින් අනතුරුව ත්‍රිකුණාමලය මූලික රෝහලේ පැවති දේශණයකදී මහජනයාට කරුණු පැහැදිලි කරමිනි.

ලෝක ක්‍ෂය රෝග දිනය (මාර්තු 24) අදට යෙදී ඇත.

ක්ෂය රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු නොවීම කණගාටුට කරුණක් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර්, යුද සමයේ දකුණු ඉන්දියාවට පළා ගොස් නැවත ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණි යුද අනාථයන් අතර ක්‍ෂය රෝගීන් සැළකියුතු පිරිසක් සිටින බවත් සඳහන් කළේය.

Image caption නිවෙස්වලට පවා යමින් ක්‍ෂය රෝගීන් දැනුවත් කරන විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර්

"ඔවුන් රෝගවාහකයන් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙය ඉතාම භයානක තත්වයක්. රෝග කාරක වෛරසය පුද්ගලයෙකුගේ ශරීර ගතව තිබුනත් ඔහු සතු ප්‍රතිශක්තිය නිසා කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්න පුළුවන්. මන්දපෝෂණය ක්‍ෂය රෝගයට අතවැනීමක්" විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් අනතුරු අඟවයි.

"ක්‍ෂය රෝගය වැළදෙන්නේ පෙණහළුවල පමණක් නොවෙයි. මොළය, අස්ථි, වසාගැටිති, පැලෝපීය පටල, වෘෂණ කෝෂ, බඩවැල්, වකුගඩු සුසුම්නාව,ඇතුළු ශරීරයේ තවත් බොහෝ අවයවවලටත් රෝගය වැළදෙන්න පුළුවන්" වෛද්‍යවරයා පැහැදිලි කළේය.

"මත්පැන් සහ දුම්වැටි මෙන්ම වෙනත් මත් ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වූවන්,මන්දපෝෂණයෙන් පෙළෙන්නන්,මහළු වියේ පසුවෙන්නන් ,වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන්,දියවැඩියා රෝගීන්,එච් අයි වී, ආසාදිතයන් සහ අවයව බද්ධ කිරීමෙන් පසුව දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා" ත්‍රිකුණාමලය මූලික රෝහලේ ක්‍ෂයරෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් පවසයි.

එවැනි විශාල අවදානමක් පැවතුනත් මෙම රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ වැඩි අවධානයක් යොමු නොවීම බරපතළ ප්‍රශ්ණයක් බව විශේෂඥ වෛද්‍යවරයා දැඩිව අවධාරණය කළේය.

Image caption මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනක්

"සෞඛ්‍ය බලධාරීන් පමණක් නොවෙයි, අපේ බොහෝ වෛද්‍යවරුන් පවා ක්‍ෂය රෝගය ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ.නිව්මෝනියාවට යටින් ක්ෂය රෝගය තියෙන්න පුළුවන්. ඒ අතරම තමන් සමාජයෙන් කොන්වේය යන බියක් ක්‍ෂය රෝගීන් අතර පවතිනවා. අවුරුද්දකට එක දවසක් විතරක් මේ ගැන සිතීමෙන් පලක් නැහැ" වෛද්‍යවරයා පෙන්වා දෙයි.

"මම රෝගීන් සිටින නිවෙස්වලට පවා යනවා. අවට වාසය කරන ජනතාව දැනුවත් කරනවා.ඒ අතර මේ වසරේ ආරම්භයේ සිට අද දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ක්‍ෂය රෝගීන් තිස් එක්දෙනෙකු හමු වී තියෙනවා" ක්‍ෂයරෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් සිය කාර්යභාරය පැහැදිලි කළේය.

අලින්ටත් ක්‍ෂය රෝගය

හීලෑ අලිඇතුන් අතරත් ක්‍ෂය රෝගය පැතිර යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මෙයින් කලකට පෙර මාධ්‍ය අමතමින් කියා සිටියේය.

"අලින්ගෙන් ඇත්ගොව්වන්ටත් ක්‍ෂය රෝගය බෝවීමේ අවදානමක් පවතින බව" කියා සිටි වෛද්‍ය අශෝක දංගොල්ල, වසර කීපයක් පුරා සිදු කළ පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

Image caption ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල අලියකුගේ සෞඛ්‍ය තත්වය පිරික්සන අවස්ථාවක්

ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අනාථාගාරයේ අලි ඇතුන්ටද ක්‍ෂය රෝගය වැළඳුණු අවස්ථා තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල සඳහන් කළේය.

අලි ඇතුන්ට ක්‍ෂයරෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව වරක් අලි නැටුම් නතර කිරීමට දෙහිවල සත්වෝද්‍යානයේ පාලකයන් පියවර ගෙන තිබුණි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර