ත්‍රීකුණාමලයේ මුවෝ: නගරයේ "අනන්‍යතාව තහවුරු කරන සජීවී ඓතිහාසික සම්පතක්"

ත්‍රිකුණාමල නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන්

යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සාමාජිකයන්, සමෘද්ධී නිළධාරීන්, ග්‍රාම නිළධාරීන් සහ ස්වේච්ඡා සමිති ක්‍රියාධරයන් ඇතුළු තුන්සියයකට ආසන්න පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 22) ත්‍රිකුණාමල නගරයේ සංඝමිත්තා විශ්‍රාම ශාලා භූමියට රැස්ව සිටියහ.

ත්‍රිකුණාමල දිසාපති එන්.ඒ.ඒ පුෂ්පකුමාර සහ නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් එස් අරූල්රාජ් ද ඒ පිරිස අතර වූහ.

ඔවුන් එහි රැස්ව සිටියේ ත්‍රිකුණාමල නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් ගණන් ගැනීමට සහායදීම පිණිසය.

"ඇත්තටම මේ සතුන් ගැන මෙපමණ කාලයක් අපෙත් ලොකු අවධානයක් යොමුවෙලා තිබුනේ නැහැ. සතෙක් අසනීප වූ බව කාගෙන් හෝ දැනගන්න ලැබුනොත් ගිරිතලේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙනවා. ත්‍රිකුණාමලේ සිට ගිරිතලේට සෑහෙන දුරක් ඇති නිසා අතරමගදී සතා මියයන්නත් ඉඩ තියෙනවා," යනුවෙන් රැස්ව සිටි පිරිස අමතමින් ත්‍රීකුණාමල දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්‍යක්ෂ නීතීඥ ලලිත් කුමාර පැවසීය.

"කොහොමටත් මේ මුව සංගණනය ඉතාම වැදගත්. ත්‍රිකුණාමල නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් රැක ගැනීමට ගෝණතොට පරිසර සංවිධානය දක්වන උනන්දුව අපි අගය කරනවා. මේ සතුන් සම්බන්ධයෙන් සිදු කරන මුල්ම සංගණනය තමයි මේ."

රාත්‍රි කාලයේදී මුවන් ලැගුම් ගන්නා ස්ථාන පණස් එකක් ඇති බව ඒ වනවිටත් ඔවුන් හඳුනාගෙන තිබිණි. සහභාගි වූ පිරිස කණ්ඩායම් කර නියමිත වේලාවට ඒ ඒ ස්ථාන කරා යොමු කළ අතර පැයකින් සංගණනයේ සියළු කටයුතු අවසන් විය.

ලැබී ඇති වාර්තාවලට අනුව මුවන් පන්සිය විස්සක් පමණ සිටින බවත් නම් කළ ස්ථාන අටක එක සතෙකුවත් නොසිටි බවත් වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

"සමාවෙන්න මට ලොකු අතපසුවීමක් වුනා. මේක එක දවසකින් සැලසුම් කළ වැඩක්. මේ සංගණනයේ අඩුපාඩු ගොඩක් තියෙනවා. අපේ සහායකයින්ට හොඳ පුහුණුවක් ලබාදී නැවත සංගණනයක් කරමු," ඔහු කීය.

ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන් බොහෝ කාලයක පටන් ත්‍රිකුණාමල නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් ගැන අවධානයෙන් පසුවන බවය.

"යුද්ධය අවසන් වෙනතුරුම මේ සතුන් බහුලව ගැවසුනේ බස් නැවතුම්පොල, එළවළු වෙළඳ පොල, පෙඩ්‍රික් කොටුව, සංඝමිත්තා විශ්‍රාම ශාලාව යන ස්ථාන වල පමණයි. කීප දෙනෙක් ජයසුමනාරාම පංසල් භූමියෙත් සිටියා. දැන් තත්ත්වය වෙනස්. නගරයේ හිස් ඉඩම්වල ගොඩනැගිලි හැදෙනවා. හරිම ජනාකීර්ණයි. වාහන ප්‍රමාණයත් වැඩියි," අනුර බණ්ඩාර පැවසීය.

"ආහාරපාන සහ සුදුසු පරිසරයක් නැති නිසා මුවන් නගරය අතහැර යනවා. අභයපුර වැනි නගරයෙන් බැහැර ගම්මානවලට පවා ඔවුන් සංක්‍රමණය වී ඇත්තේ ඒ නිසයි."

මෙසේ නගරයෙන් බැහැරට යෑම මෙම අහිංසක සතුන් අවදානමට ලක්වීමක් බව ඔහුගේ අදහසය.

Image caption "අප සෑම දෙනාටම එකතු වෙන්න මාතෘකාවක් තියෙන්න ඕනෑ. ඒ තමයි මුවෝ" - ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර

"කීප දෙනෙක්ම දුම්රියේ හැප්පිලා මැරුණා. දැන් තමයි ඔවුන් රේල්පාර පැත්තට යන්නේ. ගම්වැසියන්ගේ භව භෝග කා දැමීම තවත් ප්‍රශ්ණයක්. කැළෑවට ගියොත් මොකින් මොකක් වෙයිද කියන්න බෑ."

උන් හිටි තැන් අහිමිව කෑමට යමක් සොයමින් ඉබාගාතේ ඇවිදින මිනිස් වාසයට හුරු වුන ත්‍රිකුණාමලයේ මුවන් කෙසේ හෝ රැකගතයුතු බව ඔහු පවසයි.

"තැන තැන විසිකර දමන පොලිතින් සහ බත්, පාන් වැනි දෑ පමණක් නොව මසුන්ගේ බැහැර කරන කොටස් පවා ආහාරයට ගැනීම, අයාලේ යන සුනඛයන්ට ගොදුරුවීම, රෝගාබාධවලට නිසි ප්‍රතිකාර නොමැතිකම ආදී බොහෝ හේතූන් නිසා මුවන් වඳවීගෙන යනවා. විධිමත් සංගණනයක් නොකළත් එදා ඇස් බැල්මට දාහක් පමණ සිටි මුවන්ගෙන් අද ඉතිරිව සිටින්නේ පන්සිය විස්සක් පමණ වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්. එයින් කියවෙන්නේ බෝවීමක් හෝ පැවත්මක් නෑ කියන එකයි."

මේ සතුන් ත්‍රිකුණාමලය නගරයේම වාසය කළ යුත්තේ ඇයිද යන්නට හේතු දක්වන ගෝණතොට පරිසර සංවිධායේ සභාපති අනුර බණ්ඩාර පවසන්නේ, ඔවුන් "දේශීය සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් සුන්දර දසුනක් වගේම ත්‍රීකුණාමල නගරයේ අනන්‍යතාව තහවුරු කරන සජීවී ඓතිහාසික සම්පතක්," බවය.

"ඕලන්ද ජාතිකයන් පෙඩ්‍රික් කොටුව ඉදිකරද්දී ඒ ආශිතව ගැවසුන මුව රංචුවට අභයදානය දී ඔවුන් රැක බලාගත් බව තමයි බොහෝ දෙනෙකු පිළිගත් මතය. කෝනේෂ්වරන් කෝවිලට දෙවියන් දුන් තෑග්ගක් හැටියටයි හින්දු භක්තිකයන් ඔවුන් සලකන්නේ. කොහොම වුනත් ත්‍රීකුණාමලේ සලකුණ හැටියටයි අපි විශ්වාස කරන්නේ."

Image caption වනජීවී සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් කුමාර සංගණනය සම්බන්ධයෙන් උපදෙස් දෙමින්

එබැවින් ත්‍රිකුණාමලයේ මුවන් යනු ජාති ආගම් භේදයකින් තොරව සියළු දෙනාගේම ආදරය දිනාගත් සතුන් පිරිසක් බව පෙන්වාදෙන පරිසර සංවිධානයේ සභාපතිවරයා, "අප සෑම දෙනාටම එකතු වෙන්න මාතෘකාවක් තියෙන්න ඕනෑ. ඒ තමයි මුවෝ. මුවන් වෙනුවෛන් නගරය පිරිසිදුව තියා ගන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ජාතික සංහිඳියාවට යම් රුකුලක් වෙන්න පුළුවන්. කවර අඩුපාඩුවක් තිබුනත් අපේ වෑයම අපතේ ගිහින් නෑ එක දවසක දැනුම් දීමකින් මේසා විශාල පිරිසක් මුව සංගණනයට සහභාගි වීම විශාල ජයග්‍රහණයක්," යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ත්‍රීකුණාමලයට පැමිණෙන දේශීය සංචාරකයන් "මුවෙකුට පලා මිටියක්වත් දෙනවා නම් ලොකු වටිනා කමක් තියෙන," බව පවසන අනුර බණ්ඩාර, වනජීවී නිළධාරීන්ගේ ලැබෙන්නේ නම් වගාකර හෝ ඔවුන්ට කෑම සැපයීමට තම සංවිධානය සූදානම් බවත් සඳහන් කළේය.

මේ අතර මුවන් වෙනුවෙන් සංඝමිත්තා විශ්‍රාම ශාලා භූමියේ විශේෂ පශු වෛද්‍ය ඒකකයක් විවෘත කිරීමට දිසාපති එන්ඒඒ පුෂ්පකුමාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය.

සබැඳි යොමු: