රනිල් එරෙහි විශ්වාසභංගය: තීරණාත්මක ඡන්ද දෙමළ ජාතික සන්ධානයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව තවත් දින දෙකකින් විවාදයට ගැනීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි උණුසුමක් මතුවෙමින් පවතී.
සිය ජයග්‍රහණය අපේක්ෂාවෙන් විශ්වාසභංගයට පක්ෂ, විපක්ෂ කඳවුරු දෙකම මන්ත්‍රීවරුන්ගේ ජන්දය ලබාගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින් සිටිති.
අප්‍රේල් මස 4 වෙනි දින විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව, එදිනම රාත්‍රියේ ජන්ද විමසීමකට ලක්කිරීමට නියමිතය. එහිදී සභාවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් එක් ජන්දයක් හෝ වැඩිපුර ලබාගන්නා පාර්ශවයට ජයග්‍රහණය අත්වේ.
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ පහසුවෙන් විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවය.
"විශ්වාසභංගය පරාජය කර නව වැඩපිළිවෙළක් ඔස්සේ රජය ඉදිරියටම ගමන් කරනවා," යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න විශ්වාසභංග යෝජනාව ගැන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අගමැතිවරයා සමග සිටින බවත් ඔහු පැවසීය.
විශ්වාසභංග යෝජනාවට ජවිපෙ සහය දෙනවා - බිමල් රත්නායක
රාජිත සේනාරත්න අමාත්‍යවරයා එසේ පැවසුවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ අමාත්‍ය රවුෆ් හකීම් හා රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂවල සහාය ගැන 100% ක විශ්වාසයක් තැබිය නොහැකි බවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු අගමැතිවරයාට සහාය දෙන බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ද බීබීසීය සමග අදහස් දක්වමින් අගමැතිවරයාට සහාය දෙන පිරිසක් තම පක්ෂයේ සිටින බව පිළිගත් නමුත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා එලෙස පක්ෂයේ තීරණයට එරෙහිව යන අයට ඉදිරියේ අමාත්‍ය පදවි ලබා නොදෙන බවට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් එම පිරිස දෙගිඩියාවෙන් පසුවන බවය. මේ හේතුවෙන් ඔවුන් පක්ෂයේ තීරණය සමග සිටිනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා, විශ්වාස භංග යෝජනාවට තමන් පුද්ගලිකව තරයේ විරුද්ධ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 107ක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඒ අතරින් කතානායක කරු ජයසූරියට ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාව අහිමිය. එයට අමතරව අතුරලියේ රතන හිමියන්, චතුර සේනාරත්න සහ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනු ඇති බව වාර්තා වේ.
සිය පක්ෂය විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනාම එයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහොත්, ජනතා විමුක්ති පෙරමුණේ ජන්ද 6ත් සමග ඔවුන්ට වැඩි වාසි අත්වේ.
ඒ අනුව අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධ තීරණාත්මක ඡන්ද ප්‍රමාණය හිමිවන්නේ මන්ත්‍රීවරුන් 15ක් සහිත දෙමළ ජාතික සන්ධානයට බව පැහැදිලිය.
ඡායාරූප මූලාශ්‍රය, duminda dissanayake
විශ්වාස භංග යෝජනාව අගමැති සහ ජනාධිපති අතර විරසකයක් ඇති කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන දේශපාලන උපාය මාර්ගයක් - දුමින්ද දිසානායක
"අපිට මන්ත්‍රීවරුන් 16ක් හිටියා. එක්කෙනෙක් දැන් අපි සමග නැහැ. ඉතිරි 15 දෙනාම හෙට රැස්වෙලා තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා," දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් බීබීසී සිංහල සේවයට පැවසීය.
දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට සහාය නොදක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔවුන් බොහෝ විට සිය ජන්දය භාවිත නොකර සිටීමට හෝ අගමැතිවරයාට සහාය පළකිරීමට තීරණය කරනු ඇති බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ අතර යෝජනාව ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ද සහිතව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයගන්නා බවය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එයට සහාය දීමට ඉඩ තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පසුගියදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.
ඒ සියල්ල ඡන්ද විමසීම අවස්ථාවේ හෙළි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් බීබීසියට පැවසීය.
සබැඳි යොමු: