රනිල් එරෙහි විශ්වාසභංගය: වසන්ත, රංගේ බණ්ඩාර තවම වැට උඩ

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය භාවිත කරනු ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමු වෙමින් පවතී.

පසුගියදා සිදුකෙරුණ කැබිනට් මණ්ඩල සංශෝධනය 'කොමඩියක්' ලෙසින් විග්‍රහ කරමින් හෙළා දුටු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පක්ෂ නායකත්වයේ පූර්ණ සංශෝධනයක් අවශ්‍ය බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කුමන ස්ථාවරයක් ගනු ඇද්ද? යන්න ඒ අතර විශේෂ අවධානයට ලක්වෙමින් පවතින ප්‍රශ්නයයි.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සඳුදා (අප්‍රේල් 02) කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේ, තමා ඒ පිළිබඳව තවමත් අවසාන තීරණයකට එළැඹ නොමැති බවය.

"කණ්ඩායමත් එක්ක කතා කරලා තමයි තීරණයක් ගන්න වෙන්නේ," රාජ්‍ය අමාත්‍යවරයා බීබීසියට පැවසීය.

Image copyright Getty Images

දුරකථන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැඩිදුර කරුණු විමසීමට බීබීසීය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ අතර පක්ෂ නායකත්ව ව්‍යුහයේ "පූර්ණ ප්‍රතිශෝධනයක්" සිදුනොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට තමන් ඇතුලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සිදුවනු ඇතැයි පසුගියදා බීබීසී සිංහල සේවය සමග කියා සිටි පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, තමා ද තවමත් තීරණයකට එළැඹ නැති බවය.

"අපි බලමු අඟහරුවාදා වෙනකොට," ඔහු පැවසීය.

තමා ඉරිදා (අප්‍රියෙල් 01) සවස තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසුණ බව බීබීසී සිංහල සේවයට කියා සිටි රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා, පක්ෂයේ බිම් මට්ටමේ සහ දෙවැනි පෙළ නායකත්වයේ බොහෝ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට අගමැතිවරයා ප්‍රතිඥාවක් දුන් බවත් කියා සිටියේය.

පක්ෂයට නව උප නායකයන් පිරිසක් පත්කරන බවත් අගමැතිවරයා එහිදී සඳහන් කර තිබේ.

එම ප්‍රතිසංස්කරණ පිළිබඳ සෑහීමකට පත්වෙන්නේ දැයි විමසූ විට රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ පිළිතුර වුණේ "අපි කිව්වා අපි සතුටු නෑ කියල," යන්න පමණි.

විශ්වාසභංගය පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීම පිණිස චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ඇමතීමට බීබීසීය දැරූ උත්සාහය ද සාර්ථක නොවීය.

මේ අතර රිෂාඩ් බදියුද්දීන් සහ රවුෆ් හකීම් අමාත්‍යවරුන් බදාදා (අප්‍රේල් 04) පැවැත්වෙන ඡන්ද විමසීමේදී කවර ස්ථාවරයක් ගනු ඇති දැයි යන්න ගැනත් දේශපාලන සමාජයේ අවධානය යොමු වෙමින් ඇත.

රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි විය.

Image copyright Getty Images
Image caption දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ

මේ අතර විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැති බැවින්, දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ තීරණාත්මක සාධකය බවට පත්ව ඇත.

මේ අතර පක්ෂයේ ස්ථාවරය තීන්දු කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳුදා (අප්‍රේල් 02) රාත්‍රියේ රැස්වීමට නියමිතය.

තවත් වාර්තා: