නව බදු යෝජනා; "විපක්ෂය සහ ඇතැම් මාධ්‍ය කියන්නේ බොරු"

මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර
Image caption මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර

ශ්‍රී ලංකාවේ සෘජු බදු ලෙස දැන් ලබන ආදායම 2020 වසර වන විට 18% සිට 40% දක්වා ඉහළ දැමීම රජයේ අරමුණ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු කරමින් අප්‍රේල් මස 01 සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් බදු පනත ගැන සඳුදා (අප්‍රියෙල් 02)මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා එම අදහස පළ කළේය.

"ඇත්තෙන්ම 82% ක වක්‍ර බදු අපි ගන්නේ මහජනතාව එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර පාන, බඩු භාණ්ඩ මත පටවන බදු වලින්. එම ක්‍රමයෙන් පාරිභෝගික භාණ්ඩ මිල නොදැනුවත්වම වැඩි වෙලා පොදු ජනතාවට විශාල බදු බරක් පැටවෙනවා. ඒ වගේම ඇති හැකි බදු ගෙවිය හැකි අයත්, නැති බැරි පොදු ජනතාවත් එකම මට්ටමේ සමාන බදු ගෙවන්නන් බවට පත් වෙනවා" මුදල් ඇමති මංගල සමරවීර පෙන්වා දුන්නේය.

"ඒ ක්‍රමය එතරම් සාධාරණ එකක් නොවෙයි. ඒක නිසා අපි අලුත් බදු පනතින් ඍජු බදු 40% දක්වා වැඩි කරමින් වක්‍ර බදු 60%ක් දක්වා අඩු කරමින් ඉතා ඉක්මනින් ව්‍යුහාත්මක වෙනස්කම් අත්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා" මුදල් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

විපක්ෂය හා ඇතැම් මාධ්‍ය නව බදු පනත ගැන වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ මුදල් ඇමති මංගල සමරවීර, අදාළ පනත පවා නොකියවා ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර ඇති බවට චෝදනා කරයි.

"අද පත්තර බලන්න! මොන බොරුද තියෙන්නේ? විදේශ රැකියා කරන අයට ආදායම් බදු ගහන කතාව සම්පුර්ණ බොරුවක්.ඒ වගේම විශ්‍රාමිකයන්ටත් බදු නැහැ" මුදල් ඇමති මංගල සමරවීර අවධාරණයෙන් කියා සිටියි.

කෙසේ නමුත්, අදාළ පනත් කෙටුම්පත තමන්ට භාර දුන් අවස්ථාවේ එවැනි අහිතකර යෝජනා තිබුණ බව සඳහන් කළ මුදල් ඇමතිවරයා, ඒවා සංශෝධනය කිරීමට කටයුතු කළ බව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

එවැනි අහිතකර යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) විසින් යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පසුගියදා ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මංගල සමරවීර ඇමතිවරයා "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැදගත් සංවිධානයක්" වන බව කියා සිටියේය.

" IMF එක අහිතකර දෙයක් කරන්නයි කියලා අපට කියන්නෙත් නැහැ.කිව්වත් අපි කරන්නෙත් නැහැ" යන්න මුදල් ඇමතිවරයාගේ පිළිතුර විය.

Image copyright Getty Images
Image caption නව බදු යෝජනා අනුව වක්‍ර බදු 60% තෙක් අඩු කෙරෙන බව මුදල් ඇමතිවරයා පවසයි

රට තුලට විදේශ විනිමය ගෙන්වා ගැනීමට දිරි දෙනවා වෙනුවට ශ්‍රී ලංකාවේ තිබෙන විදේශ මුදල් ගිණුම්වල පොලී ආදායමට 5% ක බද්දක් පැනවීම ගැන විමසීමේ දී එයට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න "අද තිබෙන තත්වය එදා තිබුණ තත්වයට වඩා වෙනස් බව" පෙන්වා දුන්නේය.

"දැන් ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් ඇතැයි" සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මේ වනවිට වැඩි වී ඇති බවත් සඳහන් කළේය.

"පසුගිය වසරේ විතරක් ඩොලර් කෝටි හයසීයේ පටන් කෝටි අටසීයක් තෙක් විදේශ විනිමයෙහි වැඩි වීමක් සිදු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න වැඩි දුරටත් කියා සිටියේය.

බදු මුදල් නිසි ලෙස නොයෙදවීම ගැන ජනතාව එල්ල කරන චෝදනා ගැන බීබීසිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුදල් ඇමති මංගල සමරවීර "ජනතාවගෙන් අය කරනු ලබන බදු මුදල් 100 % නිසි ලෙස පරිහරණය නොවන බව තමන් පිළිගන්නා බව" සඳහන් කළේය.

"ඒ වගේ මතයක් මටත් තියෙනවා, ඒ නිසයි - අපි මේ යහපාලන ආණ්ඩුවක් හදා ගෙන වසර හැත්තෑවක (70) වැරදි නිවැරදි කරන්න උත්සාහ දරන්නේ" ඇමතිවරයා පවසයි.

සබැඳි පුවත්;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර