ගුවන් තොටුපොල සේවකයෝ 'ඉල්ලීම් දිනති'

රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඇතුලු ගුවන් තොටුපොල සේවකයන්ගේ ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව හදිසි වැඩ වර්ජනය අවසන් කිරීමට සේවකයන් එකඟ වූ බව සාකච්ඡාවලට සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ගතවූ වසර තුන ඇතුළත ගුවන් තොටුපොල සේවකයන්ට කිසිදු වැටුප් වැඩිවීමක් සිදු වී නැති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සාමාන්‍යයෙන් ව්‍යවස්ථාපිත මණ්ඩලවල තුන් වසරකට වරක් වැටුප් සංශෝධනයක් සිදුවිය යුතුය යන්න වෘත්තීය සමිතිවල මතය බවත් කියා සිටියේය.

"නැවත අවුරුදු තුනක් යනතෙක් වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ නෑ කියන කරුණත්, ඒ වගේම ගුවන් තොටුපළ අධිකාරිය ලබන ලාභය සහ වැටුප් බිලේ ප්‍රතිශතය අතර යම් එකඟතාවක් ඇතිකිරීම යන කරුණු දෙක ගැන පාර්ශ්ව දෙකේම අවබෝධතාව තුළින් රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීම තමයි අවසාන එකඟතාවකට ආවේ," යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දුරකථනය මාර්ගයෙන් සාකච්ඡාවලට සම්බන්ධ වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Image caption සේවකයන් විසින් ගුවන් තොටුපොළට පිවිසෙන මාර්ග ද අවහිර කරනු ලැබ තිබුණි
Image caption සේවකයන් විසින් ගුවන් තොටුපොළට පිවිසෙන මාර්ග ද අවහිර කරනු ලැබ තිබුණි

අදාළ එකඟතාව පිළිබඳ ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෘත්තීය සමිති නායකයන් සමග අඟහරුවාදා (අප්‍රේල් 03) සවස සාකච්ඡා කොට අවසාන තීන්දුවලට එළඹීමට නියමිතව තිබේ.

ඒ අනුව රට පුරා ගුවන් තොටුපොළවල පැය කීපයයක් මුළුල්ලේ පැවති වැඩ වර්ජනය නිමා කිරීමට වෘත්තීය සමිති නායකයන් එකඟ වී තිබේ.

සාකච්ඡාවලට එක්ව සිටි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එම් ඩබ්ලිව් බී මුහන්දිරම් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

සේවකයන් වැටුප් වැඩිවීම ඇතුලු සිය ඉල්ලීම් රැගත් ලිපියක් යොමු කළ අවස්ථාවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එය ඉරා විසිකිරීම ද සේවකයන්ගේ විරෝධතාවට හේතු වූ බව ද වාර්තා විය.

සේවකයන්ගේ එම විවේචනය ද සාකච්ඡාවේ අවධානයට යොමු වූ බව පිළිගත් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එය සේවක වර්ජනයට අදාළ කරුණක් නොවූ බව බීබීසී සිංහල සේවයට පැවසීය.

සබැඳි විෂයයන්