විශ්වාසභංගය: "ශ්‍රීලනිප තීන්දුව තවම නැහැ"

  • 2018 අප්‍රේල් 3
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
නිදහස් පක්ෂය අවසන් තීන්දුව තවමත් ගෙන නොමැති බව පක්ෂයේ මහලේකම් ඇමති දුමින්ද දිසානායක පවසයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගනු ලබන අවසන් තීන්දුව තවමත් ගෙන නොමැති බව එම පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පවසයි.

හෙට බදාදා (මාර්තු 03) රාත්‍රියේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසනු ලැබීමට දවසකටත් අඩු කාලයක් තිබියදී බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක, පදවියෙන් ඉල්ලා අස්වෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමේ තීන්දුවක් ගෙන එය අගමැතිවරයාට දැනුම් දීමක් මිස එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමක් පිළිබඳව කිසිදු තීන්දුවක් ගෙන නැතැයි අවධාරනයෙන් කියා සිටියේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ තීන්දුව කුමක්ද? එය ගනු ලබන්නේ කවදාද? යන ප්‍රශ්නය බීබීසිය විසින් යොමුකළ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා "එම තීන්දුව හෙට (බදාදා) රාත්‍රී නවය හමාරෙන් පසුව දැන ගන්නට ලැබෙනු ඇතැයි" සඳහන් කළේය.

මේ අතර මාධ්‍යයට අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක ඇමතිවරයා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ඒකමතිකව තීන්දු කර ඇති බව කියා සිටියි.

"අපි අගමැතිතුමාට කිව්වේ - කරුණාකර අගමැති තනතුරෙන් ඔබ ඉවත් වෙන්න කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම - සම්පූර්ණයෙන්ම ඒකමතිකව තීන්දුවක් ගත් බව...ඊයේ අපි ගත්තේ ඒකමතික තීන්දුවක්. ඒ තීන්දුවෙන් අපි ගත්තේ -පළමුවෙන් කරුණාකරලා අයින් වෙන්න කියල අගමැතිතුමා ට දැනුම් දෙන්න....ඒක භාර ගන්නේ නැත්නම් හෙට දිනයේ දී විශ්වාසභංග යෝජනාවට සියලු දෙනාම ඒකමතිකව සහයෝගය දෙනවා" එස්.බී. දිසානායක ඇමතිවරයා පවසයි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී ගනු ලබන පියවර තවමත් තීන්දු කර නැතැයි පවසන එම පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක කියා සිටින්නේ තම "පක්ෂය අනවශ්‍ය ආරාවුලක පැටලී සිටින" බවය.

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක "මෙම විශ්වාසභංග යෝජනාව මගින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අපේක්ෂා කරන්නේ ආණ්ඩුව අර්බුදයකට පත් කරමින් ඔවුන්ගේ දේශපාලන ගමන් මාර්ගය තවත් ශක්තිමත් කර ගැනීම" බවත් පෙන්වා දුන්නේය.

Image caption ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී.දිසානායක ඇමතිවරයා

"ඔවුන්ගේ දේශපාලන අරමුණ වී තිබෙන්නේ ඔවුන් විශ්වාසභංගය දිනුවත් අපට දෝෂාරෝපනය කරන්න. ඔවුන් පැරදුනත් අපට දෝෂාරෝපනය කරන්න. මේ විශ්වාසභංගයේ ජය පරාජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතේ තියෙන බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා කියල තිබුණා. ඒකෙන් පේනවා ඔවුන්ගේ අරමුණ කුමක්ද කියල" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පැහැදිලි කරයි.

"අගමැතිවරයාට චෝදනා කීපයක් දාලා - මේ විශ්වාසභංගය ඉදිරිපත් කරලා තියෙන්නේ රජයට විරුද්ධව. රජය කියන්නේ ජනාධිපතිතුමා අපි ඇතුළු කණ්ඩායම. අගමැතිවරයාට චෝදනා ටික දාලා ඉතා සූක්‍ෂම විධියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර ගැටළුවක් ඇති කෙරෙන ආකාරයට මේ යෝජනාව සකස් කරල තියෙනව" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය .

"තවත් වැඩි වෙලාවක් නැහැ. බදාදා රාත්‍රී නවයයි තිහ වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කුමක්ද කියල දැන ගන්න පුළුවන්!" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාව නිම කරමින් සඳහන් කළේය.

සබැදි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර