"පොලිසිය ගත් පියවර ප්‍රමාණවත් නැහැ" - යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයෝ

Image caption "පොලිසිය ගත් පියවර ප්‍රමාණවත් නැහැ"

මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් මහනුවර ප්‍රහාර එල්ලවෙද්දී පොලිසිය වින්දිතයන්ට ලබාදුන් ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෝ පවසති.

තම සංචාරය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නියෝජිත පිරිස අද (අප්‍රේල් 05) කටයුතු කළ අතර, එහිදී යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සජ්ජාඩ් කරීම් අදහස් දක්වමින්, "ප්‍රහාරයට ලක්වූවන්ට අවශ්‍ය මොහොතේ ලබාදුන් ආරක්ෂාව පිළිබඳ මම සැහීමකට පත්වන්නේ නැහැ" යනුවෙන් ප්‍රකාශ කළේය.

මහනුවර ගැටුම් සිදුවෙද්දී පොලිසිය බලාසිටින ආකාරය පෙනෙන CCTV දර්ශන පවා එළිදැක්වුණු අතර, පොලිසිය මෙන්ම රජයද 'පොලිසියේ ක්‍රියාකලාපය' ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන බවට ඒ සමයේදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, කතානායක කරු ජයසුරිය හා අමාත්‍ය රවුෆ් හකීම් සමග තමන් පැවැත්වූ සාකච්ඡාවලදී මෙම ගැටුම්වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට රැගෙන ඒමේ ක්‍රියාවලිය සිදුවන බව ඔවුන් ප්‍රකාශ කළ බව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන් හය දෙනෙක් දින තුනක සංචාරයක් සඳහා අප්‍රේල් 04 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ. GSP+ සහනය මගින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙන්ම ඒ හා බැඳුණු සම්මුති ගැන ශ්‍රී ලංකා නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණවී තිබේ.

Image caption මහනුවර ප්‍රහාරවලදී අලාභහානි වූ ව්‍යාපාරික ස්ථානයක්

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහනුවර සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී සජ්ජාඩ් කරීම්, "මුස්ලිම්වරුන්ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් අතර කැළඹීමක් නිසැකයෙන්ම තිබෙනවා" යැයි කී අතර ගැටුම් වලට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කිරීම රජයේ වගකීම බව ද පෙන්වා දුන්නේය.

"කොන්දේසි නැහැ"

Image copyright Getty Images

GSP+ සහනය තුළින් ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපයටද වාසිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බව මෙහිදී අදහස් දැක්වූ සංචාරයේ ප්‍රධානත්වය දරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජැන් සහ්රඩිල් පැවසුවේ ය.

සහන ලබාදීමේදී ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා නොමැති බව පැවසූ ඔහු ඇතැම් පුවත්පත් තමන්ගේ මෙම සංචාරය ගැනද වැරදි මත ඉදිරිපත් කර තිබු බව සඳහන් කළේය.

Image copyright Getty Images

"අපි ආවේ මිත්‍රයන් සහ හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාවට උදව්කරන්න මිසක් කිසිවෙක් වෙනස් කරන්න නෙවෙයි" ඔහු පැවසුවේය.

ජාත්‍යන්තර කම්කරු ප්‍රතිපත්තිවලට අනුගතව ක්‍රියා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද මෙම සංචාරයේදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් පැවසිය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විශ්වාස භංග යෝජනාව පිළිබඳ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමක් ලෙස තමන් දකින බව පැවසූ ඔහු විශ්වාස භංගයක් ගෙනඒමට විපක්ෂයට අයිතියක් ඇති සේම එයින් ආරක්ෂාවීමට රජයකට අයිතියක් ඇති බව ද පෙන්වාදුන්නේය.

පසුගිය පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර