විශ්වාසභංගයකින් අපිව ඉවත් කරන්න බැහැ - දයාසිරි

Image caption ''ජනාධිපතිතුමා කියන තෙක් අපි ඇමතිපදවී අත්හරින්නේ නැහැ"

විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කිරීමට අදහස් කරන විශ්වාසභංග යෝජනා දහසයට මුහුණ දීමට තම කණ්ඩායම සූදානමින් සිටින බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමකට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හය දෙනකුට එරෙහිව කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කරනු ලැබීම සම්බන්ධයෙන් ද , ස්වාධීනව කටයුතු නොකිරීම සම්න්ධයෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිවද දැනටමත් විශ්වාසභංග යෝජනා භාර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් පැවසීය.

කැබිනට් මණ්ඩලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ක්‍රීඩා ඇමතිවරයා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින්, එම විශ්වාස භංග යෝජනා විග්‍රහ කළේ " නවක කණ්ඩායමක දේශපාලන විකට ක්‍රියාවක්" ලෙසය.

"පාර්ලිමේන්තු ක්‍රමය ගැන දන්නේ නැති අලුතින් ආපු එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ විකට වැඩ නිසා තමයි මේ ආණ්ඩුව පිරිහුණේ. මේකත් තවත් විකට වැඩසටහනක් විතරයි. අපේ තර්කය තමයි, ඔව්! අපි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි! තවත් පිරිසක් විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙන්නෙත් නැතිව, විපක්ෂ වෙන්නෙත් නැතිව එළියේ හිටියා. ඒ පිරිසට අගමැතිවරයා විශ්වාස නම් පාර්ලිමේන්තුවට ඇවිත් විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්දය දෙන්න තිබුණා.ඔවුන් එහෙම කළේ නැහැ. ඉතින් ඒ කණ්ඩායමත් කරලා තියෙන්නේ වැරැද්දක්. එහෙම නම්, ඒ අයට විරුද්ධවත් විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන නේද?" ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට අභියෝග කරයි.

දේශපාලන විකට ක්‍රියාවක්

එවැනි තත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ කටයුතු තවත් අඩාල කිරීමක්" යන්න ක්‍රීඩා ඇමතිවරයාගේ විග්‍රහය වේ.

එවැනි විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කෙරුනොත්, ඊට අදාළ ඕනෑම තීන්දුවකට මුහුණ දීමට තම කණ්ඩායම සූදානම් බව ඇමතිවරයා කියා සිටී.

"ඕනම විශ්වාසභංගයක් ගේන්න කියන්න .අපි ඒවාට මුහුණ දෙන්න භය නැහැ" ඇමතිවරයා අභියෝග කරයි.

එවැනි විශ්වාසභංග යෝජනාවක් මගින් ඇමතිවරයකු පදවියෙන් ඉවත් කළ හැකිදැයි කළ විමසීමට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර "ඇමතිවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යයක්" බව පෙන්වා දුන්නේය.

"මේක ජාතික රජයක්. ඒ නිසා ජාතික රජයේ නියෝජනය වෙන එක පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව අනුව පමණක් ඇමතිවරුන් ඉවත් කරන්න බැහැ.එක්සත් ජාතික පෙරමුණ තුළත් කණ්ඩායම් කීපයක් ඉන්නවා " ඇමතිවරයා පවසයි.

"එක්සත් ජාතික පක්ෂයට උවමනා විධියට විශ්වාසභංග යෝජනා ගෙනත් අප ඉවත් කරන්න බැහැ. මොකද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විධියට ඇමතිවරුන් විධියට අපි පත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා විසින්.ඒ නිසා එහෙම තීන්දුවකින් යන්න අපි සූදානම් නැහැ" ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

යම් හෙයකින් ඇමති පදවිවලින් ඉවත් වෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන්නොත් පමණක් ඉන් ඉවත්වීමට සූදානම් බව ඇමතිවරයා පවසයි.

මේ මොහොතේ ජනාධිපතිවරයාගේ උපදේශය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඇමති පදවිවල රැඳී සිටිය යුතුය යන්න බව ඔහු සඳහන් කළේය.

ජනපතිට ලියුමක්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කණ්ඩායම අප්‍රියෙල් පස් වෙනිදා ජනාධිපතිවරයා මුණගැසුන අවස්ථාවේ, ඇමති පදවිවලින් ඉවත්වීමට අවසර ඉල්ලමින් අත්සන් සහිත ලිපියක් ඉදිරිපත් කළත් පදවිවල දිගටම කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සඳහන් කළේය.

"විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ උද්ගත තත්වය යටතේ ඇමති පදවිවලින් ඉවත් වීමට අවසර ඉල්ලමින් අපි ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන්න. මොකද ? අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අපි ඡන්දය දීම නිසා එතුමා දුෂ්කර තත්වයකට පත් වුනානම් එතැනින් එතුමා ගලවා ගන්න අවශ්‍ය කරනවා. ඒත් එතුමා කිව්වා - ඉවත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න එපා -දැනට දිගටම වැඩ කටයුතු කරගෙන යන්න කියල" ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේවුවද, තම කණ්ඩායම ජනාධිපතිවරයාගේ තීරණය බලාපොරොත්තුව සිටින බවත් ඇමතිවරයා පවසයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර