ශ්‍රීලනිපයෙන් තොර කැබිනට් රැස්වීමක්

Image caption තීන්දුව ඒකමතිකයි - ඩබ්ලිව්.ඩී .ජේ.සෙනෙවිරත්න ඇමතිවරයා

සන්ධාන ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලු කැබිනට් ඇමතිවරු අද (අප්‍රියෙල් 10) වෙනිදින පැවැත්වුන කැබිනට් සාකච්ඡාව වර්ජනය කළහ.

එම තීන්දුව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී .ජේ.සෙනෙවිරත්න අද,සඳුදා (අප්‍රියෙල් 09 ) පැවැත්වුන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව තම කණ්ඩායම කැබිනට් හමුව වර්ජනය කරන ලද බව කියා සිටියේය.

අද කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූ නිවාස සහ ඉදිකිරීම කටයුතු භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස බීබීසි සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එම හමුවට සහභාගී නොවූ බව තහවුරු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලු කැබිනට් ඇමතිවරුන් විසින් කැබිනට් වර්ජන තීන්දුව ගන්නා ලද්දේ ඒකමතිකව බවත් කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී .ජේ.සෙනෙවිරත්න පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ද එම තීන්දුවට එකඟ වීදැයි බීබීසී සිංහල සේවය විමසූ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා "තීන්දුව ඒකමතික විනැයි" සඳහන් කළේය.

සඳුදා (අප්‍රියෙල් 09 ) පැවැත්වුන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා පවසයි.

"පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් සාමාජිකයන් අපේ පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අවමන් කෙරෙන පහත් ප්‍රකාශ කළා. අපි ඒ ගැන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා" ඩබ්ලිව්.ඩී .ජේ.සෙනෙවිරත්න ඇමතිවරයා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කැබිනට් සාකච්ඡා වර්ජනය කරන අතරම, ඔවුන් දහසය දෙනා මීළඟ පාර්ලිමේන්තු දිනයේ විපක්ෂයේ අසුන් ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී .ජේ.සෙනෙවිරත්න බීබීසියට ප්‍රකාශ කළේය.

කෙසේ වුවද, අප්‍රියෙල් 09 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන ගැඹුරින් සාකච්ඡා වී ඇති අතර, අප්‍රියෙල් 11 දින රැස්වෙමින් තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නියෝජිතයන් එකඟතාවක් ඇතිකර ගත් බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර අද (අප්‍රියෙල් 10) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුව හා රට අස්ථාවර කරමින් කටයුතු කිරීම" ගැන ඊට සහභාගී වූ අමාත්‍යවරුන් කීප දෙනෙක් දැඩිව අදහස් දක්වා ඇති අතර, මෙම ගැටලුව සිංහල-හින්දු අලුත් අවුරුද්දට පෙර නිරාකරණය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත.

Image copyright UNP
Image caption ශ්‍රීලනිප ඇමතිවරුන් ආවේ නැහැ - සජිත් ප්‍රේමදාස ඇමතිවරයා

කැබිනට් රැස්වීමෙන් අනතුරු මාධ්‍යට අදහස් දැක්වූ බුද්ධ ශාසන කටයුතු භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, කැබිනට් මණ්ඩලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව සඳහන් කළේය.

"කැබිනට් යෝජනා සියල්ල සාකච්ඡාවට ගත්තා. අනුමත කළා. ඇතැම් බරපතළ කාරණා ඉදිරි කාලයේ දී සාකච්ඡා කරන්න කල් තැබුවා" ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිවරයා පැවසීය.

ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ඡාවක් අද (අප්‍රියෙල් 10) පැවැත්වෙනු ඇතැයි සඳහන් කළ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජනාධිපතිවරයා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් සමග ආණ්ඩුව පවත්වා ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව සඳහන් කළේය.

"ජනාධිපතිතුමාට ඕනෑකම තියෙනවා, සිංහල අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කරලා ඉවරයක් කරන්න" ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

Image copyright Getty Images
Image caption අර්බුදය නිරාකරණයට අගමැති- ජනපති හමුවක් ඉක්මණින්

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දහසය දෙනා, තවදුරටත් එම පදවිවල රැඳී සිටීම සදාචාරමය නොවන හෙයින් මීළඟ පාර්ලිමේන්තු දිනය වන අප්‍රේල් 19 වෙනිදා විපක්ෂයේ අසුන් ගන්නා බව සඳුදා (අප්‍රියෙල් 09) බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර