වැලිකඩ ගැටුම: "සාක්ෂිකරුවන්ට තර්ජන," පොලිසියට අධිකරණයෙන් අවවාද

Image copyright Getty Images

2012 දී වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවකුගේ බිරිඳට තර්ජන එල්ලවීම පිළිබඳ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය.

2012 නොවැම්බර් 09 වෙනි දින පොලිසිය, ආරක්ෂක හමුදා සහ සිරකරුවන් අතර හටගත් ගැටුමෙන් සිරකරුවන් 27 දෙනෙකු මරුමුවට පත් වූ අතර, තවත් පිරිසකට තුවාල සිදු විය.

ඒ සම්බන්ධ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, මෙම සිද්ධියේ වැදගත් සාක්ෂිකරුවකු වන බන්දුල ලියනාරච්චි ගේ බිරිඳට කිසියම් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් තර්ජනය කර ඇති බවය.

"ස්වාමීනී මෙම සිද්ධියේ වැදගත් සාක්ෂිකරුවෙකුගේ බිරිඳකට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් තර්ජන එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විධිමත් ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය පියවර ගත යුතුයි. එසේ නොකළ හොත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්," ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද නීතිඥ සේනක පෙරේරා ඉල්ලීමක් කළේය.

එහෙත් රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම තර්ජනය කිරීමේ සිද්ධිය සෘජුවම වැලිකඩ සිරකරුවන් ගේ ඝාතන සමඟ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව පැහැදිලි නොමැති බවය.

එවිට රහස් පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා වහාම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත කියවා බලන මෙන් පොලිසියට අවවාද කළේය.

"සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත පොඩ්ඩක් කියවා බලන්න. මෙම පනත යටතේ තැතිගැන්වීමක් පවා තර්ජනයක් වශයෙනුයි අර්ථකථනය කර තිබෙන්නේ. මෙම සිද්ධිය සාක්ෂිකරුවකුට ඇතිවූ තර්ජනයක් ලෙසයි අධිකරණය සලකන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්න. එසේ නොකළ හොත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න සාක්ෂිකරුවන් නැති වෙන්න පුළුවන්," යනුවෙන් අතිරේක මහේස්ත්‍රාත් වරයා රහස් පොලිසියට නියෝග කළේය.

විත්තිකරුවන්ට 'මානසික පීඩන'

මෙහි දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම තර්ජනය කිරීමේ සිද්ධිය සමග තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

විත්තියේ නීතිඥවරු වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක්‍රියා කර ඇති බවට චෝදනා කර සිටි අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමක් සිදු නොකළ බවද සඳහන් කළහ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ කරුණු දක්වමින්, සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා සෑම අවස්ථාවකම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතුයි යන ස්ථාවරය තමන් පිළිනොගන්නා බව කියා සිටියේය.

විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීම නිසා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව රහස් පොලිසිය ද එහිදී සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
වැලිකඩ 'ඝාතන' වාර්තා කෝ? - ජවිපෙ

විත්තිකරුවන් මේ වන විට දැඩි මානසික පීඩනයකට බඳුන් වී සිටින නිසා ඔවුන් අධිකරණ මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අධිකරණ මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැදවීමට පියවර ගන්නැයි බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

අනතුරුව සැකකරුවන් ලබන 24 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.

තවත් කියවන්න: