වසර 150 ක් තේ ගසට බැඳුන වතු කම්කරුවන්ගේ කතාව

Image copyright SCHMOO THEUNE

වාර්තා ඡායාරූප ශිල්පී ෂුමූ තෙවුන් (Schmoo Theune) විසින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳ සිදුකළ ගවේෂණයකදී ලබා ගත් ඡායාරූප සහ කරුණු ඇසුරෙන් සකස් කළ ලිපියකි, මේ.

'සිලෝන් ටී (Ceylon tea)' ලෙස ලෝකය තුළ ප්‍රසිද්ධ, ඩොලර් සිය ගණනක ආර්ථික වටිනාකමක් සහිත ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ රටේ මුළු ජනගහනයෙන් 5% කට ආසන්න පිරිසක් රැකියාවල නියැළී සිටිති.

කඳු බෑවුම්හි වවා ඇති තේ පඳුරුවලින් දළු නෙළා ගැනීමේ පටන්, කර්මාන්තශාලාවන්හි තේ කොළ සැකසීම දක්වා සමස්ත නිෂ්පාදන කාර්යය සඳහා බොහෝ පිරිසක් සහභාගි වෙන අතර එය පරම්පරා කීපයක ජීවන ශෛලියක් හැඩ ගැසීමට හේතු වී ඇත.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1867 වර්ෂයේ තේ වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද අතර, තේ කොළ නිෂ්පාදනය සහ විකිණීම පරම්පරා ගණනාවක් පැවත එන කර්මාන්තයකි.

Image copyright SCHMOO THEUNE

තේ වතුවල වැඩ කරන කම්කරුවන් ජීවත් වන නිවාස පේළි ඈතට දිස්වන්නේ 'බැරැක්ක' ලෙසය. ඒ සමඟ කඳු බෑවුම්වල සිට ඉහළට වවා ඇති තේ වතුයායවල් විහිද යන ආකාරය නෙත ගැටෙයි.

තේ දළු දෑතින් නෙළිය යුත්තේ කොළය මෝරා වැඩීමට පෙරය.එය දින හතේ සිට දින දාහතරක් අතර කාලය තුළ සිදු කරනු ලැබේ.

දළු සහිත තේ පඳුරු පිහිටා ඇති ස්ථාන අනුව කම්කරුවන් වත්තක වැඩ කරන ස්ථානය දිනෙන් දින වෙනස් වේ.

බරින් වැඩි සාම්ප්‍රදායික වේවැල් කූඩය වෙනුවට වර්තමානයේ තේ එකතු කිරීම සදහා භාවිත කරන්නේ ඉටි රෙදිවලින් නිමවා ඇති ගෝනියකි. (tarpaulin bags)

Image copyright SCHMOO THEUNE

කම්කරුවන් විසින් දවස තුළ නෙළාගනු ලබන තේ දළුවල බර කිරා මනිනු ලැබෙයි. දවසකට නියමිත කෝටාව අනුව දිනකට තේ දළු කිලෝ දහ අටක් නෙළනු ලබන කම්කරුවකුට දවසකට රුපියල් 600.00 ක් පමණ උපයා ගත හැකි වනු ඇත.

කිලෝ දහ අටේඉලක්කය සම්පූර්ණ කළ නොහැකි තේ කම්කරුවෙකුගේ දෛනික ආදායම වන්නේ රුපියල් 300.00 ක් පමණි.

සමහර තේ වතුවල වෙනස් ආකාරයේ වැටුප් පද්ධතියක් දැකිය හැකිය. ඔවුන් තම සේවකයන්ට මාසික වැටුපක් ගෙවන අතර තාවකාලික ණය පහසුකම් ලබා දීමට කටයුතු කරයි.

ශ්‍රී ලාංකික තේ වතු කම්කරුවන්ගෙන් වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී තේ වතුවල වැඩ කිරීම උදෙසා ඉන්දියාවෙන් රැගෙන ආ දමිළ ජාතිකයන්ගෙන් පැවත එන්නෝ වෙති.

ඔව්හු ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් පැවත එන දමිළ ජාතිකයන්ට වඩා වෙනස් ජන සමූහයකි.

Image copyright SCHMOO THEUNE

තේ වතු සහ ඒවායේ වැඩ කරන කම්කරු නිවාස සම්බන්ධ කෙරෙන්නේ අපිරිසිදු පටු මාවත් මගිනි.

විශාල කඳු බෑවුම් අතර, වැවෙන එකිනෙක තේ පඳුරු පැළ කර ඇත්තේ මීටරයක පරතරයක් ඇතිවය.

උන්නතාංශය නැතහොත් භූමියේ උස තේ රසය කෙරෙහි ඍජුවම බලපාන අතර, වඩාත් උස්බිම්හි වවන ලද තේ කොළවල ඇත්තේ ඉතා මිහිරි රසයකි.

පහත බිම්හි වැවෙන තේ ගසේ කොළය ඝනත්වයෙන් වැඩි වීම හේතුවෙන් උස්බිම්හි තේවලට වැඩි වටිනාකමක් ලැබෙයි.

Image copyright SCHMOO THEUNE

තේ දළු නෙළීමේ ප්‍රවීණයන්ගේ දෑත්වල කරගැට දැකිය හැකිය.

දළු නෙළීමේ රැකියාව තුළ තරුණ පිරිස් අවම වීමට හේතුව ලෙස එම කාර්යයේ දුෂ්කර බව දැක්විය හැකිය.

තේ කම්කරු රැකියාවේ නිරත බොහෝ පවුල්වල තරුණියන් තමන්ට පාරම්පරිකව උරුම දළු නෙළීම අත්හරිමින් ඇඟලුම් කර්මාන්තශාලාවල හෝ පිටරට ගෘහ සේවයේ රැකියාවලට ගොස් ඇත.

සාමාන්‍ය තේ වත්තක පරිපාලනය එහි අයිතිකරුගේ සිට තේ වතු කම්කරුවා දක්වා අදියර හතරක් යටතේ සිදු වේ.

ඉහළ මට්ටමේ සිටින පාලකයන් තමන්ට පහළින් සිටින සේවකයන් අධික්ෂණය කිරීමක් සිදු වේ.

Image copyright SCHMOO THEUNE

වතු කම්කරුවන් ජීවත් වන ඇතැම් නිවාස 1920 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක් යටතේ ඉදි කරන ලද ඒවා වන අතර, දළු නෙළන්නන් සඳහා එවැනි කාමර විසි දහසක් ගොඩ නඟා තිබුණි.

තවමත් එම ගොඩනැගිලි වැඩි වෙනස්කම්වලට භාජනය වී නොමැත.

කම්කරුවන් තම දරුවන් ඇතිදැඩි කරනු ලබන්නේ 'බැරැක්ක' මාදිලියේ එම ලයින් කාමරවලය.

බොහෝ ලයින් කාමරවලට විදුලිය සහ නළ ජල සැපයුම ලැබෙන්නේ දවසට පැය කීපයක් පමණි.සමහර නිවෙස්වලට මෙකී පහසුකම් කිසිවක් නොමැත.

ඔවුන්ගේ රෙදි සේදීම,දිය නෑම වැනි දෛනික කටයතු ගංගා, ඇළදොළ, පීලි භාවිතයෙන් සිදු කෙරෙයි.

Image copyright SCHMOO THEUNE
Image copyright SCHMOO THEUNE
Image copyright SCHMOO THEUNE

සමහර ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ දින තුනකට එක් වරක් පමණක් වන අතර, වතුර බැරල්වලට පුරවා ගබඩා කර ගත යුතුය.

උදෑසන 7.30 ට පමණ තේ දළු නෙළන්නියෝ සහ වෙනත් කටයුතු භාර වතු කම්කරුවෝ දවසේ වැඩ ආරම්භ කරති.

ඔවුන්ගේ පාසල් යන දරුවන්ට බොහෝ විට කිලෝමීටර් ගණනාවක් පා ගමනින් යෑමට සිදු වේ.

තේ කම්කරුවකුගේ වැටුප නොසෑහෙන හෙයින් , ඔවුන්ගේ පවුල්වල ඇතැම් සාමාජිකයන් මැද පෙරදිග හෝ රට තුළම වෙනත් ස්ථානවල රැකියාවල නිරත වෙමින් නිවසට මුදල් එවීමට යොමුව ඇත.

Image copyright SCHMOO THEUNE

තේ දළු නෙළන කාන්තාවන්ට රැකියාවට අමතරව ගෙදර දොර වැඩකටයුතු මෙන්ම තම දරුවන්ගේ වැඩකටයුතු ද කළ යුතු වේ.

Image copyright SCHMOO THEUNE

නෙළා ගත් දළු තේ වත්ත ආසන්නයේ පිහිටා ඇති තේ කර්මාන්තශාලාවකට රැඟෙන ගොස් කළු තේ කොළ හෝ කුඩු නිෂ්පාදනය සදහා යොමු කර සිටියි. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ නුවර පිහිටි තේ කර්මාන්තශාලාවකි.

Image copyright SCHMOO THEUNE

තේ දළු 'මැලවීම' නිෂ්පාදන ක්‍රියාවලියේ පළමු පියවරයි. උණුසුම් සුළං පිට කරන යන්ත්‍රයක් මඟින් තේ දළුවල තෙතමනය ඉවත් කිරීම මෙහිදී සිදු වේ.

කිලෝ දහ අටක ඇති තේ දළුවලින් පරිභෝජනය සදහා සුදුසු තේ කොළ කිලෝ පහක් නිෂ්පාදනය කළ හැකිය.

Image copyright SCHMOO THEUNE

තේ දළු මැලවීමෙන් පසු විශාල රෝලක් සහිත යන්ත්‍රයකින් අඹරා 'පැසවීමේ' ක්‍රියාවලිය සදහා යොමු කරන අතර, මෙම ක්‍රියාවලියේ දී තේ කොළ රස වැඩි දියුණු කිරීම සිදු කරනු ලැබේ.

තේ කොළ නිෂ්පාදන යන්ත්‍රවල තාක්ෂණය වසර සියයකට වඩා පැරණිය.

නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු, තේ කොළවල ප්‍රමාණය අනුව තේ වර්ග කරනු ලැබේ. අවසානයේ දී තොග වශයෙන් අසුරා ගත් තේ කොළ කොළඹ පැවැත්වෙන වෙන්දේසිය සදහා පිටත් කර හරිනු ලැබේ.

Image copyright SCHMOO THEUNE
Image copyright SCHMOO THEUNE
Image copyright SCHMOO THEUNE

ශ්‍රී ලංකාව තුළ තේ කොළ නිෂ්පාදනය කරන්නේ අපනයනය කිරීමට පමණක් නොවන අතර, දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සදහා ද මෙම තේ කොළ වෙළෙඳපොළට නිකුත් කරනු ලැබේ.

Image copyright SCHMOO THEUNE

මේ තොරතුරුද දැනගන්න:

"කොන්දේසි මත" රුසියානු තේ තහනම ඉවතට

තේ ආනයන තහනම: ජනාධිපති පූතින්ට "විශේෂ ඉල්ලීමක්"

තේ රස රහස හෙළිවෙයි; තේ බොන අතර කියැවීමක්

කංසා වැවීමට යුද හමුදාවේ සහයෝගය පතනවා - රාජිත

ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?