හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාගාරයට

  • 2018 අප්‍රේල් 16
Image caption තම විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණය භාරයේ ඇතිබව මහින්දානන්ද අලුත්ගමගේ (පා.ම.) පවසයි

කොටුව මහේස්ත්‍රාත් උසාවිය විසින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදා හරින මෙන් නියෝග කළත් එම ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් හෙට (අප්‍රේල් 17) දින තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද උදෑසන අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

ඇප කොන්දේසි යටතේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මහේස්ත්‍රාත් අධිකරණය වෙත බාර දෙන ලෙස නියෝග කෙරුණි.

එහෙත් සිය විදේශ ගමන් බලපත්‍රය දැනට මහාධිකරණය භාරයේ පවතින බව අධිකරණයට පවසා ඇතත් එය සනාථ කිරීමට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට හිටපු ඇමතිවරයා අසමත් විය.

පසුගිය 09 සහ 11 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට නියෝග කර තිබු නමුත් එම දිනවල ඔහු එහි නොපැමිණ ඇති බව පොලිසිය පවසා තිබුණි.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිත කර ඇති බවට අලුත්ගමගේ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වේ.

එලෙස රජයේ මුදලින් මිලදී ගත් කැරම් සහ දාම් බෝඩ්, 2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණය ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා භාවිතා කළ බවට ද චෝදනා එල්ලවී තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ තොරතුරුද දැනගන්න:

අදාළ ගණුදෙනුවට සම්බන්ධ බව පැවසෙන සතොස ආයතනයේ හිටපු සභාපතිවරයකු වන නලින් ප්‍රනාන්දු පසුගිය 06 වෙනිදා රටින් පිටවීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

පසුව අප්‍රේල් 12 වෙනිදා ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනුකර තිබු අතර එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබිණි.

ඉන් පසු තමන් නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ද විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාගයට ගැනීමට තවමත් දින නියමවී නොමැත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අයුක්ති සහගත ලෙස අදාළ පරීක්ෂණය මෙහෙයවන බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එම පෙත්සම මගින් කරුණු දක්වා තිබේ.

මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ මහින්දානන්ද අලුත්මගගේ මන්ත්‍රීවරයා 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ද පොලිස් අත්අඩංගුවට පත් විය.

ඊට අමතරව තවත් මූල්‍ය අපරාධ චෝදනා කීපයක් සම්බන්ධයෙන් ද ඔහුට නඩු පවරා තිබේ.

මේ තොරතුරුද දැනගන්න: